ත්‍රස්ත විරෝධී නව නීතිය සම්බන්ධයෙන් TNA අනතුරු අඟවයි

  • 2017 මැයි 4
Image caption නව නෛතික ආකෘතිය රාජ්‍ය ආරක්ෂාවට හෝ මහජන නිදහසට හේතු නොවන බව TNA පවසයි

යෝජිත ත්‍රස්තවාදයට එරෙහි පනතට සම්බන්ධ නෛතික ආකෘතියක් සහ ප්‍රතිපත්තිමය රාමුවක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීම සම්බන්ධයෙන් තමන් බලවත් කනස්සල්ලට පත්ව සිටින බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

නව පනත සම්බන්ධයෙන් තමන්ද පාර්ලිමේන්තුව තුළ කටයුතු කරමින් සිටි නමුත් නව කෙටුම්පත් ආකෘතියේ වගන්ති සම්බන්ධයෙන් ආණ්ඩුව තමන් සමඟ සාකච්ඡාවක් සිදු නොකළ බවත් දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙයි.

එසේම,නව කෙටුම්පත මගින් මහජන නිදහස සීමා කරනු ලැබීම ,රාජ්‍ය ආරක්ෂාවට වෙනුවෙන් අධිකරණය පාලනය කරනු ලැබීම සහ අපචාර සහ වධහිංසා සඳහා විශාල ඉඩකඩක් සැලසීම සම්බන්ධයෙන් තමන් බලවත් කම්පනයට පත්ව සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ නිවේදනයේ දැක්වෙයි.

ත්‍රස්ත ක්‍රියා වැලක්වීමට සහ ඒවාට වගකිව යුත්තන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් වන නෛතික වැඩ පිළිවෙළකට නිසැක ලෙසම සහයෝගය දීමට තමන් කැප වී සිටින බව පවසන දෙමළ ජාතික සන්ධානය, එහෙත් එය නීතිගරුක සහ මූලික අයිතිවාසිකම් වලට අනුගත එසේම නීතියේ ආධිපත්‍යය සුරකින ක්‍රියාමාර්ගයක් විය යුතු බව පෙන්වා දෙයි.

යෝජිත කෙටුම්පතේ ත්‍රස්තවාදය පිළිබඳව ඉදිරිපත්කර ඇති අර්ථ දැක්වීම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන ජාත්‍යන්තර නිර්වචනය ඉක්මවා යන බව තමන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇතැයි පවසන දෙමළ ජාතික සන්ධානය, අසාද් සාලි සහ JS තිස්ස නායගම් වැනි දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විරුද්ධ මතධාරීන්ට දඬුවම් කිරීම සඳහා නිදහස් අදහස් ප්‍රකාශනය සීමා කිරීමට කලින් භාවිතා කරන ලද තහංචිවලම අලුත් ආකෘතියක් නිමැවීම නව කෙටුම්පත මගින් සිදුකර ඇති බවත් කියා සිටියි.

Image caption TNA නායකයන්

නව නෛතික ආකෘතියේ අර්ථ දැක්වීම අතිශයින් අපැහැදිලි අතර ශ්‍රී ලංකාවේ සමාජ බහුවිධභාවය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේ දී එම තත්වය අයහපත් බලපෑමක් ඇති කරන බව දෙමළ ජාතික සන්ධානයේ තේරුම් ගැනීම වී ඇත.

මේ තත්වය යටතේ අපචාර ,වධ හිංසාවන් සහ සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වළක්වාලීම සඳහා මූලික අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින් යෝජිත නව නෛතික ආකෘතිය පිළිබඳව යළි සලකා බලමින් එය කඩිනමින් විධිමත් කිරීමට පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

යෝජිත නෛතික ආකෘතිය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හෝ මිනිස් නිදහස සුරක්ෂිත නොකරන එකක් වන බවත් එම සන්ධානය පෙන්වා දෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර