ශ්‍රී ලංකාවේ ඇමතිවරුන්ට මෙතරම් සුඛෝපභෝගී වාහන අවශ්‍යද?

  • 2017 මැයි 6
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"කොහොම කළත් අන්තිමට තැලෙන්නේ බදු ගෙවන ජනතාව"

ශ්‍රී ලංකාවේ ඇමතිවරුන් හය දෙනෙකු ඇතුළු පිරිසක් වෙනුවෙන් තවත් සුඛෝපභෝගී මෝටර් රථ හයක් ආනයනය කිරීම පිණිස රුපියල් කෝටි 33ක් ලබාගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුව එම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුව වෙත යොමු කරන්නේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් පෙරදැරි කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක් දින සංකේත වැඩවර්ජනයක නිරතව සිටියදීය.

අදාළ මුදල යොදාගෙන අමාත්‍යවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ රජයේ නිලධාරියෙකු සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් ආණ්ඩුව මැති, ඇමතිවරුන් වෙනුවෙන් "සැප කාර්" ආනයනය කිරීම පිණිස පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කළ පළමු වතාව මෙය නොවේ.

Image copyright Getty Images/ISHARA S.KODIKARA

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවයට හෙළි කළ අන්දමට මීට ඉහතදී අඩුම තරමින් හය වතාවක් වත්මන් ආණ්ඩුව එවැනි පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබේ.

  1. මැති, ඇමතිවරුන් පිරිසක් වෙනුවෙන් වාහන ගෙන්වීම පිණිස රුපියල් කෝටි 118 ක්
  2. රුපියල් කෝටි 57 ක පරිපූරක ඇස්තමේන්තුවක්
  3. රුපියල් කෝටි 37 ක ඇස්තමේන්තුවක්
  4. රුපියල් කෝටි 16 ක පරිපූරක ඇස්තමේන්තුවක්
  5. අගමැතිවරයා වෙනුවෙන් විශේෂ ආරක්ෂක රථ දෙකක් මිලදී ගැනීම පිණිස රුපියල් කෝටි 59.9 ක ඇස්තමේන්තුවක්
  6. ජනාධිපතිවරයා වෙනුවෙන් වෙඩි නොවදින රථ දෙකක් මිලදී ගැනීම පිණිස රුපියල් කෝටි 59 ක ඇස්තමේන්තුවක්

සුඛෝපභෝගී වාහන වෙනුවෙන් ජනතා මුදල් නාස්ති කළ බවට මහින්ද රාජපක්ෂ පරිපාලනය දැඩි දෝෂදර්ශනයට ලක් කළ වත්මන් පරිපාලනයට මේ ආකාරයෙන් සුඛෝපභෝගී වාහන අලුතෙන් ආනයනය කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවටත් වෛද්‍ය නලින්ද ජයතිස්ස චෝදනා කරයි.

"ජනාධිපති ලේකම් කාර්යාලයේ පමණක් වාහන 1500 ක් පමණ තිබෙනවයි කියල ඒ කාලේ කිවුව. ඉතින් ඒ ලබාගත් අලුත් වාහන මේ ඇමතිවරුන්ටත් පාවිච්චි කරන්න බැරිකමක් නෑ," ඔහු පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මන්ත්‍රීවරයෙක්ට බර කරත්තෙද යන්න කියන්නේ? - මුදල් ඇමති රවී කරුණානායක

"නමුත් මේ කොයි ඇමැතිවරුත් කල්පනා කරනවා තමන්ගේ අමාත්‍යංශයට ගියාට පස්සේ අලුත්ම වාහනේක නැගල යන්න. ඉතින් මේ බර පැටවෙන්නේ ජනතාවට."

අලුත්ම පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව කරුණු විමසීම පිණිස මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන ඇමතීමට බීබීසී සංදේශය කිහිපවතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

එහෙත් එම අමාත්‍යවරුන් දෙදෙනා මෙන්ම සම කැබිනට් ප්‍රකාශකවරුන්වන රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරුන්ද මැති, ඇමතිවරුන් වෙනුවෙන් සුඛෝපභෝගී වාහන ගෙන්වීම ආරක්ෂා කරමින් මීට ඉහතදී ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබේ.

ඒ පිළිබඳව මාධ්‍යවේදීන් මීට ඉහතදී කළ විමසීමකට ප්‍රතිචාරය පළ කළ මුදල් අමාත්‍ය රවි කරුණානායක, "මන්ත්‍රීවරයෙක්ට බර කරත්තේද යන්න කියන්නේ," යනුවෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය.

ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ලබාදීමේ සැලසුම ජනතා විරෝධය හමුවේ තාවකාලිකව ඉවත්කරගත් නමුත් අමාත්‍යවරුන් වෙනුවෙන් ඉදිරියේදී සුඛෝපභෝගී වාහන ආනයනය කරන බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගියදා අවධාරණය කළේය.

ඒ පිළිබඳව පසුගිය වසරේ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාද මහජන නියෝජිතයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම ආණ්ඩුවේ වගකීම බව පැවසීය.

මන්ත්‍රීවරුන් එම වාහන විකුණා දැමීමේ "සදාචාර සම්පන්නකම පිළිබඳව" අදහස් දැක්වීමට තමන්ගේ මනාපයක් නොමැති බවත් අමාත්‍ය අබේවර්ධන සඳහන් කළේය.

කෙසේ නමුත් රටේ ජනතාවට පටි තද කරගන්නා මෙන් උපදෙස් දෙන අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයෙක් සිය වියදම් අඩුකරගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.