උතුරු කොරියාව තවත් ඇමරිකානුවෙකු රඳවා ගනී

Image copyright PUST
Image caption ප්යොංයැං හි විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය

රාජ්‍යයට එරෙහිව සිදුකළ "සතුරු ක්‍රියාවක්" සම්බන්ධයෙන් සැකපිට, එක්සත් ජනපද පුරවැසියෙකු රැඳවුම්භාරයට ගත්බව උතුරුකොරියාව නිවේදනය කරයි.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍යයක් කියා සිටියේ ප්යොංයැං හි විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි කිම් හැක්-සොං මැයි 06වැනිදා රැඳවුම්භාරයට පත්වූ බවය.

මේවනවිට ඔහුට අමතරව තවත් ඇමරිකානු පුරවැසියන් තිදෙනෙක් උතුරු කොරියානු රැඳවුම්භාරයට පත්වී සිටිති. ඉන් එක් අයෙකු ඉහතකී විශ්වවිද්‍යාලයේ ම සේවය කළ පුද්ගලයෙකි.

ඔත්තු බැලීමේ නිරතවූ බවට එල්ලවූ චෝදනා මත මීට පෙර රඳවාගත් එක් ඇමරිකානු පුරවැසියෙකුට දඬුවම් පැනවීය.

හැට දෙහැවිරිදි එම පුද්ගලයා පසුගිය ඔක්තෝම්බරයේදී බරපතළ වැඩ සහිත දස වසරක සිර දඬුවමකට යටත් කරන ලදී.

Image copyright AFP
Image caption පසුගිය වසරේදී බරපතළ වැඩ සහිතව දස වසරක සිරදඬුවම් හිමිවූ තවත් ඇමරිකානු පුරවැසියෙක් - කිම් ඩොන් චුල්

තවත් ඇමරිකානු පුරවැසියෙකුට 2016 වසරේ දී දඬුවම් නියම වූයේ හෝටලයකින් ලාංඡනයක් සොරකම් කළ බවට එල්ල වූ චෝදනාවට ය.

විසිඑක් හැවිරිදි ශිෂ්‍යයෙකු වූ ඔහුට බරපතළ වැඩ සහිතව 15 වසරක සිර දඬුවමක් හිමි විය.

උතුරු කොරියාව, ඇමරිකානු පුරවැසියන් "ඇපයට" තබා ගන්නා බවට එක්සත් ජනපදය මීට පෙර චෝදනාකර තිබුණි.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍යයක් වන KCNA කියා සිටියේ රැඳවුම්භාරයට ගෙන ඇති පුද්ගලයා පිළිබඳව "අදාළ ආයතනයක්" මගින් "පූර්ණ පරීක්‍ෂණයක්" ආරම්භකර ඇති බවය.

Image copyright Reuters
Image caption උණුසුම් වාතාවරණය උත්සන්න වෙමින් පවතින අතරවාරයේ

මේ සම්බන්ධයෙන් වොෂිංටනය දැනුවත් වී ඇති බවත් අවශ්‍ය කටයුතු සඳහා උතුරු කොරියාවේ ඇති ස්වීඩන් තානාපති කාර්යාලය හරහා සම්බන්ධීකරණය සිදුවනු ඇති බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බලධරයෙක් පැවසීය.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ගේ සහෝදරයෙකු මැලේසියාවේ දී ඝාතනයට ලක්වීමෙන් අනතුරුව උතුරු කොරියාවේ සිටි මැලේසියානු ජාතිකයන් කිහිප දෙනෙකු ද රැඳවුම් භාරයට පත්විය.

උතුරු කොරියාව පසුගියදා ප්යොංයැං නුවරදී පැවැත්වූ දැවැන්ත හමුදා සංදර්ශනය සහ මිසයිල අත්හදා බැලීමත් සමඟ කලාපයේ යුද වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතී.