වසර පහළොවකට පසු යුක්තිය දුටු ශෝකාන්තයක්

Image copyright Getty Images
Image caption බිල්කිස් බනෝ අධිකරණ තීන්දුවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්

2002 වසරේදී තමා මුහුණ දුන් අපරාධයක් වෙනුවෙන් යුක්තිය ඉල්ලා අවුරුදු පහළොවක් සටන් කළ ගුජරාට් කාන්තාවක් අන්තිමේ දී ඇය ප්‍රාර්ථනා කළ යුක්තිය ඉටුකර ගැනීමට සමත් වූවාය.

බිල්කිස් බනෝ(Bilkis Bano) නම් එම කාන්තාව 2002 ගුජරාට් හින්දු-මුස්ලිම් කැරැල්ලේ ගිනිදළු මැද සමූහ දූෂණයකට ගොදුරු වූ අතර ඇයගේ ඇස් ඉදිරිපිට පවුලේ සාමාජිකයන් දාහතර දෙනකු මරා දමනු ලැබුණි.

බිල්කිස් බනෝ සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ට සිදු කළ අසාධාරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණ පැමිණිල්ලක් විභාග කළ මුම්බායි මහාධිකරණය පහළොස් වසරක් ඇය තනිව ගෙන ගිය නෛතික අරගලයට යුක්තිය ඉටු කරමින් චූදිතයන් එකොලොස් දෙනකුට යාවජීව සිර දඬුවම් නියම කරන ලද බව බීබීසී දිල්ලි බියුරෝවේ ගීතා පාන්ඩේ වාර්තා කරයි.

එම චූදිතයන් හැරුණ විට අදාළ නඩුවේ සාක්ෂි විනාශ කළ බවට චෝදනා ලැබ සිටි පොලිස් නිලධාරීන් පස්දෙනකු සහ වෛද්‍යවරුන් දෙදෙනකුත් අධිකණය විසින් වරදකරුවන් යයි තීන්දු කරනු ලැබ ඇත.

Image caption සැමියා සහ දරුවන් සමඟ තැනින් තැන යමින්

"අපට සිදුකළ අපරාධයට ප්‍රාන්ත ආණ්ඩුව සහ පොලිසියත් හවුල්. මොකද? ප්‍රාන්ත ආණ්ඩුව සහ පොලිසිය ස්ත්‍රීන් දූෂණය කිරීමට සහ කොල්ල කෑමට අපරාධකාරයන්ට නිදහස දීල තිබුණා" බිල්කිස් බනෝ බීබීසියට ප්‍රකාශ කළාය.

එහෙත් තමාට අධිකරණය කෙරෙහි විශවාසයක් පැවති බවත් ඇය කියා සිටින්නීය.

තමන් මුහුණ දුන් අපරාධය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමට බිල්කිස් බනෝ ගෙනගිය උත්සාහයට අවහිර කිරීමට පොලිසිය සහ ප්‍රාන්ත ආණ්ඩුවේ නිලධාරීන් යත්න දරා ඇත්තේ ඇය බියගැන්වීමෙන් සහ සාක්ෂි විනාශ කර දැමීමෙනි.

ඇයගේ පවුලේ මරා දැමුණ සාමාජිකයන් වලදමා ඇත්තේ කිසිදු පශ්චාත් මරණ පරීක්ෂණයකින් පවා තොරවයි.

සමූහ දූෂණයට ලක් වූ බිල්කිස් බනෝ පරීක්ෂා කළ වෛද්‍යවරු ඇය එවැනි අපරාධයකට ලක්වී නොමැති බව ප්‍රකාශ කළහ. ඒ සමඟ ඇයට මරණ තර්ජන එල්ල වන්නට විය.

Image copyright Getty Images
Image caption 2002 ගුජරාට් වර්ගවාදී ගැටුම් ආරම්භ වුණේ මගී දුම්රියකට ගිනි තැබීමත් සමඟයි

ප්‍රාන්ත ආණ්ඩුවේ පාලනය තුළ යට ගසමින් තිබුණ පරීක්ෂණ පෙරට යාම ආරම්භ වුනේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්නයට මැදිහත් වීමත් සමඟයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය පරිදි ඉන්දීය මධ්‍යම පරීක්ෂණ බියුරෝව යටතේ පරීක්ෂණ ආරම්භ වූ අතර නඩුකරය ගුජරාට් ප්‍රාන්තයෙන් මුම්බායි මහාධිකරණයට යොමු කරනු ලැබුණි.

නඩුව දිග්ගැසෙමින් පවතිද්දී තමාට සහ සැමියාට සිය දරුවන් පස්දෙනාත් රැගෙන දහවතාවක් ගුජරාටය හැර යාමට සිදු වූ බව බිල්කිස් බනෝ පවසන්නීය.

"අපි තවමත් ගුජරාටයට යන්න බයයි. පාලකයන් සහ පොලිසිය ප්‍රහාරකයන්ට උදව් කරනවා.අපි අපේ මුහුණු ආවරණය කර ගෙනයි ඉන්නේ.ඉන්න තැනක ලිපිනයවත් කාටවත් දෙන්නේ නැහැ" බිල්කිස් බනෝගේ සැමියා යාකුබ් රසූල් පවසයි.

බිල්කිස් බනොගේ කතාව මගීන් හැටක් මරණයට පත්කළ 'ගොධ්රා' (Godhra) මගී දුම්රියට ගිනි තැබීමෙන් පසු පැතිර ගිය 2002 ගුජරාට් හින්දු-මුස්ලිම් ගැටුමේ තවත් එක ශෝකාන්තයක් පමණි.

Image copyright Getty Images
Image caption අවි ගත් කල්ලි නිදැල්ලේ

එම මිනිස් ඝාතක ගැටුම් රැල්ල පැතිර ගිය වකවානුවේ ගුජරාට් මහඇමති පදවියේ සිටි නරේන්ද්‍ර මෝඩි එම ගැටුම් පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙන් දෝෂදර්ශනයට ලක්විය.

එහෙත් තමා කිසිදු වරදක් සිදුකර නැතැයි කියාසිටින නරේන්ද්‍ර මෝඩි එම ගැටුම් සම්බන්ධයෙන් සමාව අයැදීමක් ද කර නැත.