ලෝක යුද්ධය, 'ජපාන වීරයෝ' සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි

අංක 75 දරන තෙල් ටැංකිය
Image caption ටැංකියක උස අඩි 45කි, විෂ්කම්භය අඩි 365 කි. ඉන්ධන ධාරිතාවය ලීටර් එක්කෝටි හතලිස් හතර ලක්ෂ හතලිස් දහසකි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට සැරසෙන බවට විරුද්ධ පක්ෂ මෙන්ම ආණ්ඩුවට සහාය දෙන වෘත්තීය සමිතිද ආණ්ඩුවට චෝදනා කරති.

එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව පවසන්නේ එම තෙල් ටැංකිවලින් බොහොමයක් ඉන්දියාව සහශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙසින් පවත්වාගෙන යාමේ ගිවිසුමකට එළඹීම පිණිස සාකච්ඡා පැවැත්වෙන බවය.

මේ සතිය අගභාගයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතරවාරයේ අදාළ ගිවිසුමට අත්සන් තැබීමට සැරසෙන බවට මුලින් වාර්තා පළවුවත්, එවැනි කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

එම තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස් ගොස් බීබීසී සිංහල සේවය කළ විශේෂ විමසුමක සටහනයි, මේ.

ලෝක යුද්ධය

පසුගියදා ත්‍රිකුණාමලය වෙත පැමිණි ශ්‍රී ලංකාවේ සිටින ජපාන තානාපති කෙනචි සුගනුමා චීන වරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයට අයත් අංක 91 ටැංකිය වෙත ගොස් මල් කළඹක් තබා හිස නමා ආචාර කළේය.

Image caption බ්‍රිතාන්‍ය හමුදා එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් ජපන් ගුවන් යානය අංක 91 ටැංකිය මතට කඩා වැටුණි

"මෙතන නිදන්නේ අපේ ජාතික වීරයන් තුන්දෙනෙක්. ඒ අතරේ මගේ සීයා කෙනෙකුත් ඉන්නවා," මල් කළඹ තබමින් තානාපතිවරයා පැවසූ බව බීබීසී සිංහල සේවයට දැනගන්නට ලැබිණ.

දෙවන ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍යයට එරෙහිව සටන් වැදුන ජපානය 1942 අප්‍රේල් 09 වෙනි දින උදෑසන 08:04ට චීන වරායේ තෙල් ටැංකි පර්යන්තයේ අංක 38 ටැංකියට ගුවනින් බෝම්බ හෙලීය.

ෂිගනෝරි වටනබේ, ටොක්යා ගොටෝ සහ සුටෝමු ටොෂීරා එම ප්‍රහාරක යානයේ නියමුවෝ වූහ.

බ්‍රිතාන්‍ය හමුදා එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් ජපන් ගුවන් යානය අංක 91 ටැංකිය මතට කඩා වැටුනි.

සබැඳි යොමු:

ප්‍රහාරයෙන් හටගත් ගින්න සතියක් මුළුල්ලේ පැවති බව ජපන් ප්‍රහාරය අළලා මයිකල් ටොම්ලින්සන් විසින් ලියා තිබෙන "The Most Dangerous Moment" ග්‍රන්ථයේ සඳහන් වේ. අඟුරු වී ගිය තිරුවානා ගල් ටැංකිය ඒ අවට තවමත් දකින්නට තිබේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණන්නේ නෑ - චන්දිම

"මෙහිදී ශේෂ වූ ගුවන් යානයේ ඇන්ජිමේ කොටසක් දැනට ගුවන් හමුදා මූලස්ථාන කෞතුකාගාරයේ තබා ඇත," අසල ඇති දැන්වීම් පුවරුවක එසේ සඳහන් වේ.

විනාශ වූ තෙල් ටැංකි දෙකට අමතරව තවත් ටැංකි 99 ක් භුමියේ දකින්නට ලැබේ.

නිමැවුම

සියළුම ටැංකි එක හා සමානය. එක් ටැංකියක උස අඩි 45කි, විෂ්කම්භය අඩි 365 කි. ඉන්ධන ධාරිතාවය ලීටර් එක්කෝටි හතලිස් හතර ලක්ෂ හතලිස් දහසකි.

Image caption ආසියාවේ ඇති විශාලතම තෙල් පර්යන්තය මෙය බව විශ්වාස කෙරේ

සෑම ටැංකියක් වටාම පස් බැම්මක් ඉදිකර තිබේ. බැම්ම හා ටැංකිය අතර පරතරය අඩි තිහක් පමණ වෙයි. ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවකදී ටැංකියේ ඇති ඉන්ධන අනෙකුත් ටැංකි වලට පැතිරී නොයෑමට මෙම පස් බැම්ම තනා ඇති බව විශ්වාස කෙරේ.

ටැංකි උඩට ගොඩ වී ඇතුලට බැසීමට තරප්පු පෙළක් ද ඉදිකර තිබේ. අඟලක ඝණකමින් යුතු ලෝහ තහඩු එකිනෙකට පුරුද්දා ඇත්තේ රිවට් (rivet) කිරීමෙනි.

පිරිද්දුම් අතරට ඊයම් පටියක් මැදිකර තිබේ. සංකෝචනයට සහ ප්‍රසාරණයට ඔරොත්තු දීමත් කාන්දු වැළක්වීමත් මෙමගින් සිදුවේ.

වරාය ආසන්නයේ ඇති ටැංකි කීපයට පමණක් කොන්ක්‍රීට් ආවරණයක් යොදා ඇත. මුහුදු ජලයෙන් හා මුහුදේ සිට එල්ල කරන ප්‍රහාර වලින් ආරක්ෂාවීමට එසේ අතිරේක රැකවරණයක් සළසා ඇති බව බීබීසී යට දැනගැනීමට ලැබිණ.

අඩියක විශ්කම්භයකින් යුතු චීනට්චට්ටි ලෝහයෙන් නිම වූ භූ ගත නළමාර්ගයක් ඔස්සේ වරායේ සිට ටැංකිවලට ඉන්ධන පොම්ප කර ඇත. එම නළ හා සම්බන්ධ පරීක්ෂණ කවුළු තැනින් තැන දකින්නට ලැබේ. පොම්පාගාර දෙකක් හා තෙල් බෙදුම් ස්ථාන දෙකක්ද රට අභන්තරයට තෙල් ප්‍රවාහනය කිරීම සදහා දුම්රිය අංගනයක්ද මෙම තෙල් ටැංකි සමූහය සතුය.

ඝණ වනාන්තරයක්

තෙල් ටැංකි ඉදිකර ඇති මුළු භූමියම ඝණ වනාන්තරයකි.

Image caption තෙල් ටැංකි ඉදිකර ඇති මුළු භූමියම ඝණ වනාන්තරයකි

එයින් අක්කර 780 කින් සමන්විත ටැංකි 86ක් සහිත ප්‍රදේශය CV යනුවෙන්ද අක්කර 45 කින් සමන්විත ටැංකි 15 සහිත ප්‍රදේශය AFC යනුවෙන්ද හැඳින්වේ.

මෙහි CV පෙදෙසේ විනාශ වෙමින් පවතින ගොඩ නැගිලි එකසිය පණහක් පමණ ඇති අතර තවත් විසි පහක පමණ ඉන්දියන් තෙල් සමාගමේ සේවකයෝ නවාතැන් ගෙන සිටිති. මෙම ගොඩනැගිලිද තෙල් ටැංකි තරමටම පැරණිය.

ආසියාවේ ඇති විශාලතම තෙල් පර්යන්තය මෙය බව විශ්වාස කෙරේ.

පළමු ලෝක යුද්ධය සමයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉදිකරන ලද එම ටැංකි සහ අවට භූමිය ශ්‍රී ලංකාවේ අයිතියට පවරාගැනීම පිණිස එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක අගමැතිවරයාගේ පාලන සමයේ විශාල මුදලක් ගෙවීමට සිදු වූ බව ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර