බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් !

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් !

බුදුරජාණන් වහන්සේ උපන් බිම වායු දූෂණය හේතුවෙන් බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව විද්‍යාඥයින් මෙන්ම බලධාරීහු ද පවසති.

නේපාලය පුරා ඇති වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානවලින් රැස්කර ගන්නා ලද දත්තවලින් කියවෙන්නේ ලුම්බිණිය ඉහළ වායු දූෂණයකට ලක්ව ඇති බවය.

පුදබිම ආසන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක කර්මාන්ත ව්‍යාප්තිය මැද මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරිණි.


Image caption ලුම්බිණිය වෙත ලොව නන් දෙස සිටින බෞද්ධයෝ පැමිණෙති

වායු දුෂණයේ බරපතල ස්වභාවය

පසුගිය ජනවාරි මාසයේ දී කරන ලද ගණනය කිරීම්වලට අනුව, නේපාලයේ නිරිතදිග පිහිටි ලුම්බිණියේ සිහින් වායු දූෂක (PM2.5) තත්ත්වය දැක්වුණේ ඝන මීටරයට මයික්‍රෝ ග්‍රෑම් 173.025 ක් ලෙසය.

ඊට ආසන්න නගරය වන චිට්වාන් හි 113.32 ක් වූ අතර ඉහළ වායු දූෂණයක් ඇති කත්මණ්ඩු අගනුවර අගය වූයේ 109.82 කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණවලට අනුව වායු දූෂණයට අදාළ ආරක්ෂිත සීමාව මයික්‍රෝ ග්‍රෑම් 25 ක් වන අතර නේපාල රජය ප්‍රකාශයට පත් කර ඇති ජාතික මට්ටම මයික්‍රෝ ග්‍රෑම් 40 කි.

ලුම්බිණි ඓතිහාසික පුදබිම සහ ඒ අවට මතු වී ඇති තත්ත්වය විද්‍යාත්මක ආයතනවලින් ඉස්මතු කොට ඇත.

"අතිශය දූෂණයට ලක්ව ඇති ඉන්දු-ගංගා තැනිතලාවෙන් සිදුවන සීමන්තර ප්‍රවාහය මෙන්ම වායු ස්ථරවලදී උෂ්ණත්වය අඩුවීම වෙනුවට වැඩිවීම නිසා ප්‍රදේශයේ කර්මාන්ත ආශ්‍රිත දූෂණයේ සිරවීමේ එකතුව බරපතළ ලෙස මීට හේතු වෙලා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව, නිවර්තන කාලගුණය පිළිබඳ ඉන්දීය ආයතනය කළ අධ්‍යනයකින් පැවසේ.

"ප්‍රදේශය තුළ සිදුවන වායු ගෝලයට මුදා හැරීම් ද අනෙකුත් හේතු අතර තිබෙනවා" යැයි ද සඳහන් වේ.

ඒ අනුව, මිනිස් රුධිර නහර තුළට ඇතුළු විය හැකි PM 2.5 සිහින් වායු දූෂක මට්ටම එම අධ්‍යයනයේදී හඳුනාගෙන ඇති අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති ආරක්ෂිත සීමාවට වඩා දස ගුණයක් ඉහළය.

Image caption ලුම්බිණියේ ගහ කොළ දුහුවිල්ලෙන් වැසී ඇත

කර්මාන්ත ව්‍යාප්තියේ බලපෑම

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ලුම්බිණි ප්‍රදේශය වායු දූෂණය හේතුවෙන් තර්ජනයකට ලක්ව ඇති බව ලෝක සංරක්ෂණ සංගමය (IUCN) සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, සමාජීය, හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් කරන ලද අධ්‍යනයකින් ද පෙන්වා දී ඇත. "ලුම්බිණියේ සංරක්ෂිත කලාපය තුළ කාබන් විමෝචනය කෙරෙන කර්මාන්ත ව්‍යාප්ත වීම හේතුවෙන් ජෛව විවිධත්වයට තර්ජන කිරීම, ප්‍රදේශයට එල්ල වන සෞඛ්‍ය අවදානම මෙන්ම පුරාවිද්‍යාත්මක දේපළ සහ සමාජීය, සංස්කෘතික අනන්‍යතාවලට තර්ජන එල්ල වීම වැනි ගැටලු රැසක් මතුව තිබෙනවා" යැයි ඉන් කියැවේ.

ලුම්බිණියේ පූජනීය උද්‍යානය, වායු දූෂණයේ බරපතල තර්ජනයට ලක්ව ඇති බව එහි ඇති ස්මාරක තුනක් ආශ්‍රිතව IUCN ආයතනය කළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ.

"අශෝක ස්ථම්භයෙන් (බුදුරජාණන් වහන්සේගේ උපන් ස්ථානය සිහිකිරීම සඳහා අශෝක අධිරාජයා විසින් ක්‍රිස්තු පුර්ව 249 දී කරවන ලදී.) ලබාගත් නියැදිවලින් පෙන්නුම් කළේ ජිප්සම්, කල්සයිට්, ඩොලමයිට් හා මග්නසයිට් කුඩු වශයෙන් ස්ථම්භයේ මතුපිට තැන්පත්ව ඇති බවයි." යැයි රෝම විශ්ව විද්‍යාලයේ ඉතාලි ජාතික පුරාවිද්‍යාඥ කොන්ස්ටන්ටිනෝ මෙවුසි සිය වාර්ථාවේ සඳහන් කර ඇත.

"මේ සියල්ල සිමෙන්ති නිෂ්පාදන චක්‍රයේ කොටස්" යැයි ද පැවසේ.

Image caption ලුම්බිණි ආසන්නයේ ඇති සිමෙන්ති කම්හල් වායු දුෂණයට ඉවහල්ව ඇති බව පැවසේ

ඓතිහාසික පුදබිමේ නිරිත දිග සහ බටහිර සීමාවල සිට ගුවනින් කිලෝමීටර 15ක ප්‍රදේශය ලුම්බිණි ආරක්‍ෂිත කලාපය ලෙස නම් කර ඇත.

එම ආරක්‍ෂිත කලාපයට යාබදව ව්‍යාප්තවන කාර්මික ප්‍රදේශය ආශ්‍රිතව සිමෙන්ති, වානේ, කඩදාසි හා නූඩ්ල් කර්මාන්තශාලා මෙන්ම ගඩොල් පෝරණු ද වේ.

ඉන් සමහර කර්මාන්තශාලා ආරක්‍ෂිත කලාපය තුළම පිහිටීම ආණ්ඩුවේ රෙගුලාසි පැහැදිලි ලෙසම උල්ලංඝනය කිරීමක් බව පරිසරවේදීහු පවසති.

පුදබිමට පැමිණෙන සංචාරකයින් මෙන්ම සැදැහැවතුන්ද බීබීසී වෙත පැවසුවේ තමන්ට ආශ්වාසයේදී දැඩි අපහසුවක් දැනෙන බවය.

වසර දෙදහස් හයසියයකට එපිටදී ගෞතම බුදුන් මෙලොව ජනිත වූ නියම ස්ථානය දැක්වෙන තැන පිහිටි මායාදේවි විහාරය ආසන්නයේ භාවනාවේ යෙදුනු විවේකානන්ද හිමි ඇතුළු පිරිසක් මුව ආවරණ පැළඳ සිටින අයුරු බීබීසී වාර්තාකරුට දකින්නට ලැබිණි.

Image caption මුව ආවරණ පැළඳ භාවනාවේ යෙදෙමින්

ලුම්බිණිහි භාවනා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ඔහු, "අපේ මධ්‍යස්ථානයේ සිටි පිරිසෙන් ඇතැමෙකු ඇදුම තත්ත්වයට මුහුණ පෑවා" යැයි පැවසීය.

"මෙහි ඇති තත්ත්වය දරාගන්නට බැරුව ඇතැම් අය තමන්ගේ වන්දනා ගමන් කෙටි කර ආපහු යන්න ගියා." යැයි ඔහු පැවසීය.

නේපාල රාජ්‍ය නිලධාරීන් මේ තත්ත්වය දැන සිටින අතර එරට පරිසර දෙපාර්තමේන්තුවේ වායු දුෂණ මානක ඒකකයේ ප්‍රධානී ශංකර් ප්‍රසාද් පෞදෙල් පැවසුවේ, "මෑතදී රැස්කළ දත්තවලින් පෙනෙන්නේ කත්මණ්ඩු නුවරට වඩා ලුම්බිණියේ වායු දුෂණය ඉහළ බවයි." යනුවෙනි.

"නුදුරේදීම ඩ්‍රෝන් යොදාගනිමින් මෙම දුෂණයේ මුලාශ්‍ර හඳුනාගැනීමට සැලසුම් කර තිබෙනවා. අපේ බලාපොරොත්තුව, පවතින ගැටලුව අඩු කිරීමට එය උපකාර වෙයි කියලයි." යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

(බීබීසී පරිසර වාර්තාකරු නවීන් සිං ඛඩ්කා සකස්කළ වාර්තාවක් ඇසුරිනි)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්