බ්‍රිතාන්‍ය අගමැතිනිය, ස්වාමි පුරුෂයා, ප්‍රේමය සහ කුණු කූඩය

තෙරේසා මේ සහ ෆිලිප් මේ
Image caption කුණු කූඩේ අයින් කරන්නේ කීයටද කියල තීරණය කරන්න මට අයිතිය තියෙනව. එහෙම නැතිව කුණු කූඩේ ගෙනියනවද, නැද්ද කියල නෙවෙයි - ෆිලිප් මේ

පහසුවෙන් සමීප විය නොහැකි ඡන්දදායකයන්ට ආමන්ත්‍රණය කිරීම පිණිස දේශපාලන නායකයෝ විවිධ උපක්‍රම යොදාගනිති.

ඒ සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ යොදාගත් උපක්‍රමය සිය ස්වාමි පුරුෂයා, ෆිලිප්, සමග ජනප්‍රිය රූපවාහිනී සංවාද වැඩසටහනකට සහභාගි වීමය.

ඔවුන් දෙදෙනා එක්ව රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වූ පළමු වතාව එයයි.

සබැඳි යොමු:

බීබීසී රූපවාහිනියේ සවස හතට විකාශනය වන One Show වැඩසටහෙන්දී 'කට වරද්දා නොගැනීමට' දෙදෙනාම ප්‍රවේශම් සහගත වූහ.

මුළු සංවාදය පුරාවටම සිය බිරිඳ වෙත හැරෙමින් අදහස් දැක්වූ ෆිලිප් මේ, ඇයගේ සෑම අදහසක්ම හිස වනා අනුමත කරමින් ඇයට දැඩි පක්ෂපාතීභාවයක් ප්‍රදර්ශනය කළේය.

නිවසේදීත් තමන් එලෙසින්ම හැසිරෙන බවත් ඔහු පැවසීය.

සිය බිරිඳ දැඩි තීන්දු, තීරණවලට එළඹෙන තැනැත්තෙකු දැයි විමසූ අවස්ථාවේ ඔහුගේ පිළිතුර වූයේ : "හැම විවාහයකම වගේ අපේ විවාහෙත් පුංචි අඬදබර තියෙනවා," යන්නය.

Image copyright Getty Images
Image caption ඔබ දන්නවනේ කොල්ලන්ගේ වැඩ තියෙනව, ඒ වගේම කෙල්ලන්ගේ වැඩ තියෙනව - තෙරේසා මේ

"කුණු කූඩේ අයින් කරන්නේ කීයටද කියල තීරණය කරන්න මට අයිතිය තියෙනව. එහෙම නැතිව කුණු කූඩේ ගෙනියනවද, නැද්ද කියල නෙවෙයි," ඔහු සිනහසෙමින් පැවසීය.

ඒ අවස්ථාවේ වහා මැදිහත් වූ බිරිඳ තෙරේසා, "ඔබ දන්නවනේ කොල්ලන්ගේ වැඩ තියෙනව, ඒ වගේම කෙල්ලන්ගේ වැඩ තියෙනව," යනුවෙන් සඳහන් කළාය.

අගමැතිනියගේ ස්වාමි පුරුෂයාද එය අනුමත කළේය.

තමන් අනිවාර්යයෙන්ම "කොල්ලන්ගේ වැඩ කරන" බව ෆිලිප් මේ පැවසීය.

එහෙත් "කොල්ලන්ගේ රස්සාවක්" ලෙසින් සාම්ප්‍රදායිකව සැලකෙන අගමැති පුටුව හිමිව තිබෙන්නේ ඔහුගේ භාර්යාවටය.

'හොඳ කෝකියෙක්'

කොන්සර්වේටිව් පක්ෂයේ ඡායා කැබිනට්ටුවේ සේවය කළ සමයේ සිට රටේ අගමැති පදවිය දැරීම පිළිබඳව සිය භාර්යාවට උනන්දුවක් තිබූ බව ඔහු හෙළි කළේය.

තෙරේසා මේ ඡායා කැබිනට්ටුවට සම්බන්ධ වූයේ 1999 දීය.

තරුණ වියේදී කොන්සර්වේටිව් පක්ෂ සමුළුවක් අමතා තිබෙන නමුත්, දේශපාලනයට මුලින්ම අවතීර්ණ වූයේ ඇය බවත් ඔහු හෙළි කළේය.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සමයේ ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැසුණු ආකාරයත් ලෝක දේශපාලනයට සම්බන්ධ සිදුවීමකි.

ඔවුන් දෙදෙනා හඳුන්වා දී තිබෙන්නේ දෙදෙනාගේම මිතුරියක වූ - පසුව පාකිස්තානයේ අගමැති පදවියට පත් - බෙනාසීර් භූතෝ විසිනි.

අගමැතිවරියකගේ ස්වාමි පුරුෂයා වීම හේතුවෙන් ඇතිවන අවාසි කවරේදැයි විමසූ විට එය වරප්‍රසාදයක් බව ෆිලිප් මේ අවධාරණය කළේය.

සිය බිරිඳ ඉතා හොඳ කෝකියෙකු බවත් ඔහු සඳහන් කළේය.

සබැඳි විෂයයන්