TNA, ඉන්දීය අගමැති මෝදිට පැවසූ කරුණු

විපක්ෂනායක ආර් සම්බන්ධන් ඉන්දීය අගමැතිවරයා සමග Image copyright Twitter/@R_Sampanthan
Image caption විපක්‍ෂනායක ආර් සම්බන්ධන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ලබා දෙන නායකත්වය ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රසාදයට ලක් වී තිබේ

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම පමාවීම පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයකින් අනතුරුව යළි ඉන්දියාව බලා පිටත්වීමට ප්‍රථම කටුනායක ගුවන් තොටුපොලේදී විනාඩි 45 ක පමණ කාලයක් ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ඡා කළ බව සන්ධානයේ එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

"එතුමාට අපි කිවුවේ කවුරුත් බලාපොරොත්තුවෙන් හිටිය ගිය වර්ෂය ඉවර වෙන්න ඉස්සෙල්ල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට හදන්න පුළුවන් කියල. ඒක දැන් ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒ ප්‍රමාදය ගැන අපි කතා කළා," ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකටම පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය තමන් ඉන්දීය අගමැතිවරයා හමුවේ පැහැදිලි කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"එහිදී අර්ථවත් බලය බෙදීමක් කරන්න ඕනෙයි කියල අපි එතුමත් එක්ක කතා කළා."

අගමැති මෝදිගේ ප්‍රතිචාරය

දෙමළ ජාතික සන්ධානයේ ඒ අදහස්වලට ඉන්දීය අගමැතිවරයා දැක් වූ ප්‍රතිචාරය කවරක්ද?

"ඉන්දියාවේ බලාපොරොත්තුවත් ඒකමයි කියල අගමැතිතුමා කිවුව. ආණ්ඩුවත් එක්ක ඒක ගැන දැනටමත් කතාකරලා තියෙන බවත් ඉක්මනින් ඒක ජයග්‍රහණය වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරන බවත් එතුමා කිවුව," ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්දිරන් පැවසීය.

Image copyright Twitter/@R_Sampanthan
Image caption "ආණ්ඩුවත් එක්ක ව්‍යවස්ථාව ගැන දැනටමත් කතාකරලා තියෙන බවත් ඉක්මනින් ඒක ජයග්‍රහණය වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරන බවත් එතුමා කිවුව"

විපක්‍ෂනායක ආර් සම්බන්ධන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ලබා දෙන නායකත්වය ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රසාදයට ලක් වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහෙත් ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඉන්දියාවට භාර කටයුත්තක්ද?

ඇයි ඉන්දියාව?

"ඒක ඉන්දියාවට භාර කටයුත්තක් නෙවෙයි. අපි කාටත් ඒ ගැන කතාකරනවා. මේක රහසිගත ක්‍රියාවක් නෙවෙයි. මේක ඓතිහාසික මොහොතක්. ඒ නිසා මේ රටට එන කවුරුත් ඒක විමසනවා," සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

සිකුරාදා උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර වෙසක් දින උත්සවයට සහභාගි වූ අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන් අනතුරුව වතුකරයේ සංචාරයක නිරත වෙමින් ඉන්දීය මූල්‍ය ආධාරය ඇතිව ඉදි කරන ලද දික්ඔය රෝහලේ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළේය.

ඉන්දීය අගමැතිවරයෙක් වතුකරයේ සංචාරයක යෙදුන පළමු වතාව එයයි.

ඉන්දීය අගමැතිවරයා බ්‍රහස්පතින්දා රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මුණගැසුණු බව කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා ගේ ඉල්ලීම ප්‍රකාර එම හමුවීම සිදු වූ බව සඳහන් කළ මහ කොමසාරිස්වරයා, ඉන්දියාව ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දුන් සහ මේ දක්වා ලබාදෙන සහයෝගය පිළිබඳව සතුටු වන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහිදී සඳහන් කළ බවත් මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.