රාමදාන් කඩ කළොත් මාස තුනක සිර දඬුවමක්!

  • 2017 මැයි 13
Image caption රාමදාන් සමයේ පාකිස්තාන් ඉස්ලාම් බැතිමතුන්

රාමාදාන් උපවාස වතාවත් කඩ කරන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් නියම කිරීමට පකිස්ථාන් බලධාරීන් ඉදිරිපත් කරන සැලසුම් එරට බලවත් දේශපාලන පවුලක ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් විසින් ප්‍රසිද්ධියේ දෝෂ දර්ශනයට ලක් කරනු ලබයි.

රාමදාන් වතාවත් කඩ කරන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් පැනවිය හැකි මට්ටමින් දැනට බලපැවැත්වෙන නීතිය සංශෝදනය කිරීමේ යෝජනාවක් පකිස්ථාන් සෙනේට් සභාවේ ආගමික කටයුතු භාර කමිටුව පසුගිය සතියේ අනුමත කරනු ලැබුණි.

හිටපු අගමැතිනි බෙනාසීර් බුට්ටෝගේ වැඩිමහල් දියණිය වන බක්තාවාර් බුට්ටෝ ශර්දාරි (Bakhtawar Bhutto-Zardari )එම ප්‍රයත්නය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් එවැනි සිර දඬුවමක් පැනවීමේ යෝජනාව "විහිළුවක්" හැටියට විග්‍රහ කර ඇත.

ළමුන්,වැඩිහිටියන් සහ රෝගීන් රාමදාන් සමය තුළ "වතුර ටිකක් බීමේ වරදට" සිරගත කළ යුතුදැයි බක්තාවාර් බුට්ටෝ සිය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රශ්න කරයි.

Image caption රාමදාන් සමයේ කුරානය කියවන දරුවන්

සෙනේට් සභා ආගමික කමිටුවේ අනුමැතිය ලද ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වීමට නම් එය පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුව ඇත.

එම සංශෝධනය සම්මත කෙරෙන හැඩක් දක්නට ඇත යන්න විශ්ලේෂකයන්ගේ අදහසයි.