“එකම තීරයක් එකම මාවතක්” සමුළුව ඇරඹෙයි

Image copyright Getty Images
Image caption සමාරම්භක සමුළුවට රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් ඇතුළු විසි දෙනකුට අධික රාජ්‍ය නායකයෝ සහභාගී වෙති.

"එකම තීරයක් එකම මාවතක්" ව්‍යාපෘතිය යටතේ එය පැතිරෙන කලාපයේ වරාය, මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම සඳහා ඩොලර් කෝටි දොළොස් ලක්ෂ හාරසීයක් යොදන බව චීන ජනාධිපති ෂින් ජින්පින් පවසයි.

චීන නායකයා එම ප්‍රකාශය කළේ "එකම තීරයක් එකම මාවතක්" දෙදින සමුළුවට සහභාගී වෙන රාජ්‍ය නායකයන් අමතමනි.

බේජිං ජාතික ප්‍රාසාංගික කලා මධ්‍යස්ථානයේ පැවැත්වෙන එම සමාරම්භක සමුළුවට රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් ඇතුළු විසි දෙනකුට අධික රාජ්‍ය නායකයෝ සහභාගී වෙති.

"වෙළෙඳාම ආර්ථික සංවර්ධනයේ වැදගත්ම යන්ත්‍රයයි" ජනාධිපති ෂින් ජින්පින් ප්‍රකාශ කළේය.

2013 වසරේ පළමුවරට ප්‍රකාශයට පත්කරන ලද "එකම තීරයක් එකම මාවතක්" ව්‍යාපෘතිය ආසියා -අප්‍රිකා සහ යුරෝපා මහාද්වීප ඔස්සේ පැතිර යමින් ඉන් ඔබ්බටත් ව්‍යාප්ත කිරීම චීනයේ අභිලාෂයයි.

Image caption අගමැති රනිල් වික්‍රමසිංහ "එකම තීරයක් එකම මාවතක්" සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

එම ව්‍යාපෘතියේ එක් අංශයක් යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ ජාත්‍යන්තර ආයතනවලට ආධාර පිණිස විශාල මුදල් සම්භාරයක් යොදවන බවත් චීනය පවසයි.

ජනාධිපති ෂින් ජින්පින් සමුළුව අමතමින් "නව සේද මාවතක්" ලෙස ද හඳුන්වනු ලබන එකම තීරයක් එකම මාවතක් ව්‍යාපෘතිය "ලෝක මට්ටමින් චීන බලපෑම නංවාලීමේ ප්‍රයත්නයක් නොවන බව බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහතික කිරීමේ" ප්‍රයත්නයක නිරත විය.

"එකම තීරයක් එකම මාවතක්" ව්‍යාපෘතිය පෙරට යද්දී සතුරු බලවේග අතර පැවති පැරණි තරඟකාරී මාවතේ අපි ගමන් ගන්නේ නැහැ. ඒ වෙනුවට සහයෝගීතාවයේ සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ දායාද වෙන ආකෘතියක් අපි නිර්මාණය කරනවා" චීන ජනාධිපතිවරයා සමුළුවට සහභාගී වෙමින් සිටින රාජ්‍ය නායකයන් හමුවේ සඳහන් කළේය.

"අපි සහයෝගීතාවය මත පදනම් වූ නව වේදිකාවක් නිර්මාණය කරනවා. විවෘත ලෝක ආර්ථිකයක් සහතික කරනවා" චීන නායකයා අවධාරණය කරයි.

Image caption ආසියාව-අප්‍රිකාව-යුරෝපය ඔස්සේ තවත් පෙරට යන සැලසුම

"එකම තීරයක් එකම මාවතක්" ව්‍යාපෘතිය චීනයේ භූ දේශපාලන බලපෑම ව්‍යාප්ත කර ගැනීමේ ප්‍රයත්නයක් හැටියට සැක කරන ජපානය සහ ඉන්දියාව මෙම සමුළුවට සහභාගී නොවෙති .

අගමැති රනිල් වික්‍රමසිංහ "එකම තීරයක් එකම මාවතක්" සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර