අයිවරි කෝස්ට්: රට පුරා ප්‍රධාන නගරවල ගැටුම්

Image copyright AFP

ආයුධ බිම තබන මෙන් අයිවරි කෝස්ට් ආණ්ඩුව කළ නියෝගයද නොතකා හරිමින් කැරලිකාර හමුදා භටයෝ රටේ ප්‍රධාන නගර හතරක වෙඩි ප්‍රහාර එල්ල කළහ.

සිය සේවය වෙනුවෙන් ආණ්ඩුව දිරි දීමනා ලබානොදීමටේ එරෙහිව කැරලිකාර හමුදා භටයන් පිරිසක් ආණ්ඩුවට පක්ෂපාතී හමුදාවට එරෙහිව සටන් වැදී සිටියි.

අර්බුදය හේතුවෙන් ලෝකයේ විශාලතම කොකෝවා නිෂ්පාදකයා වන අයිවරි කෝස්ට් හි සියලුම බැංකු වසා දමා තිබේ.

වෙරළබඩ San Pedro නගරයේ දරුණු ගැටුම් වාර්තා වූ අතර, නගරය පුරාම කැරලිකරුවන් විසිරී සිටින බවත් ප්‍රදේශවාසීහු පවසති.

'කොටුවෙලා'

නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමින් සැරසුණු සන්නද්ධ කණ්ඩායම් අබිජාන් අගනුවරට උතුරින් පිහිටි ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිටින බවත් ඔවුහු පවසති.

මේ අතර කැරැල්ල හේතුවෙන් තමන් දින තුනක් මුළුල්ලේ කොටු වී සිටින බව ලොරි රියදුරෝ පවසති.

Image copyright AFP

"මම සිකුරාදා හවස ඉඳල මෙතන හිරවෙලා. අර තියෙන්නේ මගේ ට්‍රක් එක අතන පාක් කරලා. මේක ඉස්සරහට යන්නෙත් නෑ පස්සට යන්නෙත් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ කියල ටෙලිවිෂන් එකේ කියනවා. ඒත් ප්‍රශ්නේ දන්නේ අපිනේ. දවස් ගානක් තිස්සේ අපිට කන්නත් නෑ," එක් ලොරි රියදුරෙක් පැවසීය.

22,000 ක් වන අයිවරි කෝස්ට් රාජ්‍යයේ සොල්දාදුවන්ගෙන් 8000 ක් හිටපු කැරලිකරුවන්ය.

2011 දී ජනාධිපතිවරයාට රටේ බලය අත්පත් කරගැනීම පිණිස කැරලිකරුවන්ගේද සහාය හිමිවිය.

කොකෝවා මිල පහල වැටීම හේතුවෙන් ආණ්ඩුව මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බැවින් කැරලිකාර හමුදා භටයන්ගේ ඉල්ලීම් ඉටුකිරීම ආණ්ඩුවට ඉතා දුෂ්කර කාර්යයක් බව එහි සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසයි.