ඉරාන් ජනාධිපතිවරණය; ජය කාටද?

Image caption මී ළඟ ඡන්ද විමසීම තවත් පැය කීපයකින්

ඉරානයේ ඡන්දදායකයන් මැයි 19 වෙනි දා උදෑසන පටන් සිය මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිපිට පෝලිම් ගැසෙනු ඇත.

මෙය ඉරාන් විප්ලවයෙන් පසු එරට පැවැත්වෙන දොළොස් වෙනි ජනාධිපතිවරණයි.

වයස අවුරුදු දහඅට සම්පූර්ණ කර සිටින කෝටි පහ හමාරක් පමණ ලියාපදිංචි ඉරාන ජාතිකයන් මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය දීමට සුදුසුකම් ලැබ සිටින අතර විදේශගත සිය පුරවැසියන්ට ද ඡන්දය දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළුව රටවල් 103 ක ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට 'ටෙහෙරාන්' මැතිවරණ නිලධාරීන් විසින් පියවර ගනු ලැබ ඇත.

එහෙත් කැනඩාව සහ ඉරානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවා ඇති රටවල් දෙකක් එවැනි ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවනු ලැබීම ප්‍රතික්ෂේප කර ඇත.

Image caption අනාගත ඡන්දදායකයෙක් ඡන්දපොලක

වයස අවුරුදු දහඅට ඉක්මවූ ඉරාන් පුරවැසියන් ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබන නමුත් එසේ ඉදිරිපත් වෙන පුද්ගලයන් අතරින් සුදුසු අපේක්ෂකයන් වන්නේ කවුරුන්ද යන්න තීන්දු කරනු ලබන්නේ මැතිවරණ අධීක්ෂණ ආයතනය(EMA) සහ ඉරාන් උත්තරීතර ආගමික පාලක සභාව මගිනි.

2009 ජනධිපතිවරණය සඳහා ඉරාන් ජාතිකයන් 36000 ක් අපේක්ෂකයන් හැටියට ලියාපදිංචි වීමේ වාර්තාවක් ඇති අතර එහෙත් ඉහත කී නිල ආයතන මගින් තෝරා ගනු ලැබුණේ ඔවුන් අතරින් කීපදෙනකු පමණි.

උදාහරණයක් වශයෙන් කාන්තාවන් ද ජනාධිපති ධූර අපේක්ෂකත්වය ඉල්ලා ලියාපදිංචි වෙන නමුත් ඔවුන් නිසැක ලෙසම ප්‍රතික්ෂේප කරනු ලැබෙති.

ඉරාන් විප්ලවය

ක්‍රිස්තු පූර්ව හයවෙනි සියවස තරම් ඈතට විහිද යන ඓතිහාසික උරුමයක් සහිත පෞරාණික පර්සියානු අධිරාජ්‍යයට අයත් භූමියේ පිහිටි වත්මන් ඉරානයේ දැනට බල පැවැත්වෙන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිෂ්ඨාපනය කරන ලද්දේ 1979 ඉරාන් විප්ලවයෙන් පසුවයි.

Image caption ජනාධිපති රුහානි-තවත් ජනවරමක් ඉල්ලමින්

බටහිර රාජ්‍යයන් විසින් "ඉරාන් ඉස්ලාමීය විප්ලවය" ලෙස හඳුන්වනු ලබන 1979 වසරේ මහජන නැගිටීම මගින් එතෙක් බලයේ සිටි රේෂා මොහොම්මඩ් ෂා පහ්ලාවි (Reza Mohommed Shah Pahlavi )අධිරාජයා සිහසුනෙන් මෙන්ම රටින් ද පළවා හරින ලද අතර ඉන් අනතුරුව පිහිටුවන ලද 'ඉරාන් ඉස්ලාමීය ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' මගින් දැනට ක්‍රියාත්මක වෙන ජනාධිපති පදවිය නීතිගත කරනු ලැබුණි.

එම නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන ලද ඉරාන් ඉස්ලාමීය ජනරජයේ පළමු ජනාධිපතිවරණය 1980 වසරේ ජනවාරි මාසයේ පැවැත්වුන අතර අබුල්හසන් බනි සදර් ( Abolhasan Bani-Sadr) පළමු ඉරාන් ජනාධිපතිවරයා හැටියට ඉතිහාසයට එක්විය.

ඉරාන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට බලයේ රැඳී සිටිය හැකි ධූර කාලය වසර හතරකට සීමාවෙයි.

ආගමික බලපෑම

1979 වසරේ අප්‍රියෙල් මාසයේ දී ඉරානය ජනරජයක් හැටියට ප්‍රකාශයට පත් කරන ලද නමුත් ආගම පමණක් නොව රටතුළ සැබෑ දේශපාලන බල අධිකාරියත් තම අණසක යටතේ පවත්වා ගැනීමට ඉස්ලාමීය ආගමික බල මණ්ඩලය(Qum) යත්න දරයි.

රේසා ෂා අධිරාජයා පළවා හරිනු ලැබීමෙන් අනතුරුව අධිරාජ පාලන සමයේ වසර දාහතරක් රටින් පිටව ප්‍රංශයේ ජීවත් වූ ඉස්ලාමීය ආගමික නායක අයතුල්ලා රුහොල්ලා කොමෙයිනි ( Ayatollah Ruhollah Khomeini) 1979 පෙබරවාරි මාසයේ 'ටෙහෙරාන්' අගනුවරට පෙරළා පැමිණි අතර ඔහු ඉන්පසු රටේ සැබෑ නායකයා බවට පත්විය.

Image caption ඉරාන් පාලනයේ සුපිරි නායක අයතොල්ලා අලි කොමෙයිනි

ජනමත විචාරණයකින් පසු එම වසරේ අප්‍රියෙල් මාසයේ දී ඔහු විසින්ම ඉරාන් ඉස්ලාමීය ජනරජය පිහිටුවන ලද නමුත් ළදරු ජනරජ පාලන තන්ත්‍රයේ අවසන් තීන්දු ගැනීමේ බලය අයතුල්ලා රුහොල්ලා කොමෙයිනි ප්‍රමුඛ උත්තරීතර ආගමික මණ්ඩලයට පවරා ගනු ලැබුණි.

දශක හතරකට අසන්න ඉරාන් ජනරජ ඉතිහාසයේ බලයට පත් ජනාධිපතිවරුන් කීප දෙනකුටම ඔවුන්ගේ ප්‍රතිසංස්කරණවාදී ඉදිරි ක්‍රියාමාර්ග උත්තරීතර ආගමික බල මණ්ඩලයේ බලපෑම හමුවේ පෙරට ගෙනයාම අසීරු විය.

ඉරානයේ හිටපු ජනාධිපති මහ්මුද් අහ්මදිනිජාඩ්ට(Mahmoud Ahmadinejad) සිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ජනාධිපතිවරයා පදවියෙන් ඉවත් කිරීමට සිදුවීම ඉරානයේ සුපිරි නායක අයතොල්ලා අලි කොමෙයිනි ගේ දේශපාලන බලපෑම කොතරම්ද යන්න ප්‍රදර්ශනය කෙරුණ මෑත නිදර්ශනයකි.

පාර්ලිමේන්තුව

ඉරාන් මජ්ලිස් ( Iranian Majlis) යනුවෙන් පර්සියානු භාෂාවෙන් ව්‍යවහාර කෙරෙන ඉරාන් පාර්ලිමේන්තුව සාමාජිකයන් 290 කින් යුක්තවෙයි.

Image caption ඡන්ද උණුසුම -ප්‍රචාරක පත්‍රිකාවක්

ඉරාන් විප්ලවයට පෙර පැවති පාර්ලිමේන්තුව 'මජ්ලිස්' යනුවෙන් හැඳින්වුන පහළ මන්ත්‍රී මණ්ඩලයකින් සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වූ සෙනෙට් සභාවක් සහිතව ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් විය.

විප්ලවයෙන් අනතුරුව ප්‍රතිව්‍යුහගත කරන ලද නව ව්‍යවස්ථා රාමුව තුළ එම සෙනේට් සභාව අහෝසි කරන ලද අතර අභිනවයෙන් පිහිටුවන ලද වත්මන් ව්‍යවස්ථාදායකය ඒකීය මණ්ඩලයක් වන අතර එහි නිල කාලය වසර හතරකට සීමාවෙයි.

දෝෂාභියෝගයක් සම්මත කරනු ලැබීමෙන් ජනාධිපතිවරයා පදවියෙන් ඉවත් කිරීම් බලය එම පාර්ලිමේන්තුව සතුවෙයි.

උණුසුම් තරඟයක්

දැනට බලයේ සිටින ජනාධිපති හසන් රුහානි(Hassan Rouhani) පදවිය භාර ගන්නා ලද්දේ 2013 ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයෙන් අනතුරුවයි.

Image caption ජනාධිපති හසන් රුහානිගේ ප්‍රධාන අබියෝගය- ඊබ්‍රාහිම් රෙයිසි

මැයි 19 වෙනිදා මෙවර ජනපතිවරණ සටන තුළ අපේක්ෂකයන් සතරදෙනකු සිටින අතර ඔවුන් අතරින් ප්‍රධාන තරඟය පවතින්නේ බලයේ සිටින ජනාධිපති හුසේන් රුහානි සහ දැඩි මතධාරී පූජකයෙකු වන ඊබ්‍රාහිම් රෙයිසි (Ebrahim Raisi) අතරයි.

'ග්ලාස්ගෝ' සරසවියේ ආචාර්ය උපාධිධරයකු වන හැටඅට හැවිරිදි ජනාධිපති රුහානි ප්‍රතිසංස්කරණවාදී මධ්‍යස්ථ මතධාරියකු ලෙස සැලකෙන අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදී ඊබ්‍රාහිම් රේසි ඉරාන් ඉස්ලාමීය පූජක තන්ත්‍රය සමඟ බැඳුන ගතානුගතිකවාදී දේශපාලනඥයකු ලෙස විග්‍රහ කරනු ලැබ ඇත.

මෙවර ජනපතිවරණ සටනට සියයකට අධික කාන්තාවන් ද අයදුම්පත් ඉදිරිපත්කර තිබුනත් ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර