දාහත් හැවිරිදි 'ලිංගික වහලියක්'

  • 2017 මැයි 19
Image copyright Getty Images
Image caption පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම 'ලිංගික අතවරයට'

ලිංගික වහල් සේවය සඳහා සිරකරගෙන සිටි බව පැවසෙන ගැහැණු ළමයෙකු නිවසින් පලායමින් සිටියදී හමුවී ඇතිබව ඔස්ට්‍රේලියානු පොලිසිය පවසයි.

දාහත් හැවිරිදි ගිනීයා ජාතික යෞවනියට රැකියාවක් ලබාදෙන බව පවසමින් පසුගිය අප්‍රේල් මාසයේදී යම් පුද්ගලයෙකු විසින් සිඩ්නි නුවරට රැගෙන එනු ලැබ ඇති බව නිව් සවුත් වේල්ස් පොලිසිය ප්‍රකාශ කළේය.

එම පුද්ගලයා විසින් තමා නිවසක රඳවනු ලැබ සිටි බවත් එතැනින් පලායන තුරු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම තමන් ලිංගික අතවරයට ලක්වූ බවත් ඇය චෝදනාකර තිබේ.

පරීක්‍ෂණ

ඇයට එම නිවසින් පලායාමට අවස්ථාව ලැබී ඇත්තේ අප්‍රේල් විසිහත් වැනිදා ය.

පලායමින් සිටියදී හමුවූ කාන්තාවක් විසින් ඇය ප්‍රජා මධ්‍යස්ථානයකට භාරදෙනු ලැබ තිබේ.

ඔස්ට්‍රේලියානු පොලිසියේ, ලිංගික අපරාධ සහ මිනිස් ජාවාරම් මැඬලීමේ බලකාය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් සිටිති.

ලිංගික වහල් සේවයට යොදාගත් බව පැවසෙන මෙම ගැහැණු ළමයා මේවනවිට රෝහල්ගතව සිටින්නීය.

ගිනීයා රාජ්‍යයේදී

ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වූ පුද්ගලයා ගිනීයා රාජ්‍යයේ දී තමන්ට හමුවූයේ පසුගිය ජනවාරියේදී බවය.

අනතුරුව ඔහු විසින් පැරිසිය හරහා ඔස්ට්‍රේලියාවට තමන් රැගෙන එනු ලැබූ බවත් ඇය පවසා තිබේ.

17 හැවිරිදි මෙම යෞවනියට ලිංගික අතවර කළ බව පැවසෙන පිරිස සොයා පොලිසිය විමර්ශන දියත්කර තිබේ.