'චීන ජෙට් යානා දෙකකින් ඇමරිකානු ගුවන් යානයකට බාධා'

  • 2017 මැයි 19
Image copyright AFP
Image caption චීන ජෙට් යානයක් (සංරක්‍ෂිත ඡායාරූපයකි)

චීන ජෙට් යානා දෙකක් විසින් ඇමරිකානු ගුවන් යානයකට මග අවුරමින් "වෘත්තීය නොවන ආකාරයට" බාධා කරනු ලැබූ බවට එක්සත් ජනපද හමුදාව චෝදනා කරයි.

එක් චීන ජෙට් යානයක් තම ගුවන්යානය ආසන්නයටම පැමිණි බවත් ඒ අවස්ථාවාදී චීන ජෙට් යානය සහ ඇමරිකානු ගුවන් යානය අතර පරතරය මීටර 45ක් තරම් පටු වූ බවත් ඇමරිකානු බලධරයෙක් සීඑන්එන් රූපවාහිනියට පැවසීය.

මෙම අවස්ථාවේ දී චීන ජෙට් යානය උඩුයටිකුරු ආකාරයට තම ගුවන් යානයට ඉහලින් පියාසර කරවූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

Image caption චීන මුහුදු කලාපය

එක්සත් ජනපදය පවසන්නේ විකිරණශීලීතාව මැනබැලීමේ ක්‍රියාන්විතයක තම ගුවන් යානය නැගෙනහිර චීන මුහුදට ඉහළින් ජාත්‍යන්තර ගුවන් කලාපයේ පියාසර කරමින් සිටි බවය.

මෙම සිද්ධිය පිළිබඳව මෙතෙක් චීනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

නමුත් එක්සත් ජනපදය තම මුහුදු කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කරවීම පිළිබඳව නිරන්තරයෙන් චීනය තම විරෝධය පළකරයි.