මගෙන් කිසිම සමාවක් නැහැ-ජුලියන් අසාන්ජ්

Image copyright AFP
Image caption විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ග් එක්වදෝර් තානාපති කාර්යාලයේ ඉහළ මහලේ සිට මාධ්‍යවේදීන් අමතන ලද අවස්ථාවක්

විකිලීක්ස් අන්තරජාල වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනා පිළිබඳ පරීක්ෂණ අත්හැර දමන ලදබව ස්වීඩනයේ නීති නිලධාරීහු පවසති.

එම පරීක්ෂණ අත්හැර දමන ලද්දේ දූෂණ චෝදනා යටතේ ජුලියන් අසාන්ගජ් අත්අඩංගුවට ගන්නා මෙන් ස්වීඩන් බලධාරීන් විසින් නියෝග කරනු ලැබීමෙන් අවුරුදු හතකට පසුවයි.

තමාට එරෙහි පරීක්ෂණ නතර කරන බව ස්වීඩන් බලධාරීන් විසින් නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුව 'ට්විටර්' පණිවුඩයක් මගින් ඊට ප්‍රතිචාරය පළකළ ජුලියන් අසාන්ජ් ද්වේශ සහගතව සිය නාමයට අවමන් කරනු ලැබීම අමතක කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් සමාව දීමක් කිසිදාක නොමැති බව කියා සිටියේය.

ස්වීඩන් බලධාරීන් විසින් තමා අත්අඩංගුවට ගනු ලැබුනොත් ඇමෙරිකා එක්සත් ජනපදයට භාරදෙනු ඇතැයි ප්‍රකාශ කළ ජුලියන් අසාන්ජ් එම අධිකරණ ක්‍රියාමාර්ගයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ අතර සිය රැකවරණය පතා 2012 වසරේ දී ලන්ඩන් නගරයේ පිහිටි එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබමින් සිටියි.

ජුලියන් අසාන්ජ් ඔහුට එරෙහි දූෂණ චෝදනා දේශපාලන අරමුණු අනුව ගොතන ලද ඒවා යයි පවසමින් එම චෝදනා බැහැර කරයි.

Image caption සිය නිරවද්‍යතාවය කියාසිටින විකිලීක්ස් නිර්මාතෘවරයා

ස්වීඩනයේ දී සිදු කරන ලදැයි පැවසෙන එම ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ජුලියන් අසාන්ජ්ට එරෙහිව මෙතෙක් කිසිදු උසාවියක නඩු පැවරීමක් කරනු ලැබ නැත.

මේ අතර ප්‍රකාශයක් කරන බ්‍රිතාන්‍ය පොලිසිය ජුලියන් අසාන්ජ් එක්වදෝර් තානාපති කාර්යාලයෙන් එළියට යාමට උත්සාහ කළොත් 2012 වසරේ විභාගයක් සඳහා උසාවියේ පෙනී සිටීමට අසමත් වීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා බව කියා සිටියි.

තම රටේ සරණාගතභාවය හිමි ජුලියන් අසාන්ජ්ට එහි පිවිසීමට අවස්ථාව ලබාදෙන මෙන් එක්වදෝරය දිගින් දිගටම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

යුදමය සහ රාජ්‍යතාන්ත්‍රික සිය රහස්‍ය තොරතුරු ඇතුළත් ලිපිලේඛන දහස් ගණනක් 'විකිලීක්ස්' වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබීම සම්බන්ධයෙන් ජුලියන් අසාන්ජ් ට එරෙහිව නඩු පැවරීම පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය සලකා බලමින් සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර