රුහානි දෙවන වරටත් ජනාධිපති පදවියට

  • 2017 මැයි 20
Image copyright AFP
Image caption ජනාධිපති රුහානි - දෙවන වරත් ජයග්‍රහණය සහතික කර ගනිමින්

ඉරාන ජනාධිපතිවරණයෙන් බලයේ සිටින ජනාධිපති හසන් රුහානි (Hassan Rouhani) ජයගත් බව මෙයින් ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කළ එරට රාජ්‍ය රූපවාහිනිය ජයග්‍රාහක ජනාධිපතිවරයාට ශුභ පැතීමක් ද කළේය.

දෙන ලද සියලු ඡන්ද ගණන් කරනු ලැබ අවසානයේ දී බලයේ සිටින ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 57% ක් පමණ විය.

මේ අනුව මෙවර ඉරාන් ජනාධිපතිවරණයේ දෙවන වටයක් පැවැත්වීමක් සිදු නොවෙයි.

හසන් රුහානි සිය ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා පරදවමින් පහසු ජයග්‍රහණයක් ලද බව ඉරාන් වාර්තා මගින් පැවසෙයි.

ඉරානයේ මැතිවරණ නීතිය අනුව ජනාධිපතිවරණයක දී ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් 50% ක ඡන්ද ලබා ගැනීමට අසමත් වුනොත් ඔවුන්ට දෙවන වටයක් සඳහා යාමට සිදු වෙයි.

මේ අතර පරාජිත අපේක්ෂක ඊබ්‍රාහිම් රෙයිසි (Ebrahim Raisi ) ජනාධිපතිවරණ ඡන්ද විමසීම් වලදී ප්‍රෝඩා සිදුවූ බව පවසමින් මැතිවරණ නිලධාරීන්ට දැනටමත් පැමිණිලි කර ඇති බවක් ද වාර්තා වෙයි.

මෙවර ඉරාන් ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 70% ක් පමණ විය.

Image caption ඊබ්‍රාහිම් රෙයිසි

තමා දෙවන වතාවටත් පදවිය සඳහා තෝරා ගනු ලැබුනොත් ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කරන බවට ජනාධිපති හසන් රුහානි සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ප්‍රතිඥාවක් දී තිබුණි.

ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වන ඊබ්‍රාහිම් රෙයිසි ඉරානයේ සුපිරි ආගමික නායක අයතොල්ලා කොමෙයිනිගේ කිට්ටු හිතවතකු වන අතර ජනාධිපති රුහානි ගේ පාලනය තුළ ඉරානයට එල්ල වූ ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් වැඩි වූ බවට සහ ආර්ථිකය දුර්කළමනාකරණයට යටත් වූ බවට චෝදනා කළේය.

Image caption ඡන්දය අතරේ සෙල්ෆියක්

ජජනාධිපති රුහානිගේ පළමු නිල කාලය තුළ ඉරානය සහ ජාත්‍යන්තරය අතර සබඳතා ශක්තිමත් වූ නමුත් රටතුළ ආර්ථික මන්දගාමී භාවයක් ඇති වූ බවට ප්‍රතිවාදීන්ගෙන් චෝදනා එල්ල විය.

ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ එකඟතාවයක් ඇති කර ගැනීම රුහානි පාලනය ලද විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර