පසුගිය සතියේ අප නොදැන සිටි කරුණු 5ක්

  • 2017 මැයි 21

තරබාරු වුවත් නිරෝගී විය හැකිද?

තරබාරු වුවත් ශාරීරිකව නිරෝගී පුද්ගලයෙකු විය හැකි බවට පවතින මතය මිත්‍යාවක් බව නවතම පර්යේෂණයකින් සනාථ වී තිබේ.

මෙම පර්යේෂණය සඳහා බ්‍රිතාන්‍ය වැසියන් තිස්පන් ලක්ෂයක ගේ වෛද්‍ය වාර්තා යොදා ගෙන ඇත.

කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන තරබාරු පුද්ගලයන් ඉදිරියේ දී රෝගවලට ලක්වීමේ සම්භාවිතාවේ අඩුවක් නොවන බව මෙම සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.

එම නිසා "fat but fit" න්‍යාය මින් ඉදිරියට වලංගු නොවන බව එම සමීක්ෂණය මෙහෙයවූ වෛද්‍යවරු පවසති.

දක්ෂිණධ්‍රැවය හරිත කලාපයක්

කාලගුණික විපර්යාස හේතුවෙන් දක්ෂිණධ්‍රැවය හරිත කලාපයක් බවට පත්වෙමින් තිබෙන බව පර්යේෂකයෝ පවසති.

පසුගිය වසර පනහ ඇතුළත දක්ෂිණධ්‍රැවයේ විවිධ ස්ථාන ඡායාරූපගත කරමින් සිදුකරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ ධවල වර්ණයෙන් පැවති බොහෝ පෙදෙස් හරිත පැහැගැන්වෙමින් ඇති බවය.

"දක්ෂිණධ්‍රැවය සම්පූර්ණයෙන්ම කොළ පැහැගැන්වෙන එකක් නැහැ. නමුත් අනාගතයේදී එය දැනට වඩා හරිත පැහැයෙන් යුත් ප්‍රදේශයක් වෙනවා," යනුවෙන් එක්සෙටර් විශ්වවිද්‍යාලයේ මැට් අම්ස්බරි පැවසීය.

"අදේවවාදීන් වඩා බුද්ධිමත්"

Image copyright Thinkstock

ආගමකට නැඹුරු වූ පුද්ගලයන්ට වඩා අදේවවාදීන්ගේ බුද්ධි මට්ටම ඉහළ බව නව සමීක්ෂණ කිහිපයකින් අනාවරණය වී තිබේ.

බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් පිරිසක් ඒකාබද්ධව කරන ලද සංඛ්‍යාන විශ්ලේෂණ අධ්‍යයන 63 කින් මේ බව තහවුරු වී ඇත.

කෙසේ නමුත් මීට පැහැදිලි හේතුවක් තවමත් අනාවරණය වී නැති බව සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම කිසිම ආගමකට නැඹුරු නොවූ පුද්ගලයන් වැඩි බුද්ධි මට්ටමක් පෙන්නුම් කර ඇතත් වයස්ගත වීමත් සමඟ එහි පරතරය අඩුවන බවද සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.

චීටාවන් මිහිමතින් තුරන්වීම 'අතළඟ'

මේ වනවිට මිහිමත සිටින චීටාවන් ගේ මුළු ගණන හත්දහස් එකසීයක් පමණි.

ලොව වේගවත්ම සතා වන චීටා ලොවින් තුරන්වීම වෙත වේගයෙන්ම දිවයමින් සිටින බව ලෝක වනජීවී සංරක්‍ෂකයෝ පවසති.

ඔවුන් පවසන්නේ ඉදිරි වසර පහළොව ඇතුළත, දැනට ඉතිරි වී සිටින චීටාවන්ගෙන් සියයට පනස්තුනක් ලොවින් සමුගන්නා බවය.

"මේක අතිශය හානිකර තත්වයක්, ශීඝ්‍ර පහත වැටීමක්. මෙය වළක්වා ගැනීම සඳහා කඩිනමින් යමක් කළ යුතු වෙනවා." යනුවෙන්, වන කොටි ආරක්ෂණය සඳහා පිහිටුවා ඇති ගෝලීය සංවිධානයේ සභාපති ලූක් හන්ටර් පැවසීය.

නිදි වැරීමෙන් වැහැරෙන රූ සපුව

Image copyright MILANMARKOVIC/GETTY IMAGES

අවශ්‍ය පමණට නින්ද නොලැබීම නිසා රූ සපුව ඉක්මනින් වැහැරෙන බව සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.

නින්ද පිළිබඳව කළ පර්යේෂණයෙන් පෙනී ගොස් ඇත්තේ දින දෙකක් නිසි ලෙස නින්ද නොලැබීම මගින් පවා කෙනෙකුගේ රූ සපුවට "සැළකිය යුතු" හානියක් සිදුවන බවය.

බ්‍රිතාන්‍යයේ සරසවි සිසු සිසුවියන් යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ.