"උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්"

  • 2017 මැයි 21
Image caption උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්

උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි.

මීට පෙර උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබූ අවසන් මිසයිල ත්‍රිත්වයට වඩා මෙය කෙටි දුර විහිදුම් මිසයිලයක් බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

නවතම අත්හදා බැලීම වාර්තා වූයේ, න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහිත යුද ශීර්ෂයක් ගෙන යාහැකි නව වර්ගයක මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කිරීමෙන් සතියකට පසුවය.

එය වාර්තාවීමෙන් පසු එක්සත් ජාතීන් දැඩි ඉල්ලීමක් කරමින් කියා සිටියේ උතුරු කොරියාව එවැනි මිසයිල අත්හදා බැලීමක් යළිත් සිදු නොකළ යුතු බවය.

"සාහසික සහ වගකීම් විරහිත"

Image copyright Getty Images
Image caption දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා තිබුණි

මෙම මිසයිල අත්හදාබැලීම "සාහසික සහ වගකීම් විරහිත" ක්‍රියාවක් බව දකුණු කොරියාවේ විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මෙය ජපන් මුහුදු කලාපය දෙසට කිලෝ මීටර 560ක් පමණ දුර පියාසර කර ඇති බව දකුණු කොරියානු බලධාරීහු පවසති.

පසුගිය සතියේ අත්හදා බැලූ මිසයිලය කිලෝ මීටර 700ක් පමණ දුරකට විද ඇතිබව වාර්තා විය.

මෙම වසර ඇතුළත උතුරු කොරියාව අත්හදා බැලූ සියලුම මිසයිල සාර්ථක නොවූ නමුත් ඒ සියලු අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ කොන්දේසි කඩකර ඇත.

ඇමරිකාව

Image copyright Getty Images
Image caption දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා තිබුණි

එම ක්‍රියාකාරකම් හේතුවෙන් එක්සත් ජනපදය සමඟ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය.

උතුරු කොරියාව දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව කොරියානු අර්ධද්වීපය වෙත ප්‍රහාරක නෞකා යැවූ අතර දකුණු කොරියාව තුළ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය.

කොරියානු අර්ධද්වීපය වෙතට නාවික ප්‍රහාරක බලඇණියක් යෙදවීමට ඇමෙරිකානු හමුදාව පියවර ගැනීමත් සමග එම කලාපය තුළ උණුසුම් තත්වයක් මතුවෙමින් පවතී.

උතුරු කොරියානු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කැමති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටි නමුත් දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බවත් සඳහන් කළේය.

හමුදාමය ක්‍රියාමාර්ගවලට පිවිසීම සඳහා තමන්ගේ ඇති සුදානම ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෑතදී පෙන්වා දෙනු ලැබුවේ සිරියාවට කෘස් මිසයිල ප්‍රහාරයක් දියත් කරමින් හා ඇෆ්ඝනිස්තානයේ ඉලක්කයක් වෙත විශාල බෝම්බයක් හෙළමිනි.