බ්‍රිතාන්‍ය මැතිවරණය ;ලේබර් පක්ෂය නැගිටියිද?

Image caption මැතිවරණය ලංවෙත්ම තරඟය උණුසුම් අතට

ජුනි අටවෙනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහමැතිවරණය ලංවෙමින් පවතිද්දී විපක්ෂයේ ලේබර් පක්ෂය මැතිවරණ සටනේ ප්‍රගතියක් පෙන්නුම් කරමින් පෙරට යමින් ඇති බව අලුත්ම මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙයි.

අගමැතිනි තෙරේසා මේ පසුගිය අප්‍රියෙල් දහඅට වෙනිදා නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් හදිසි මහමැතිවරණයක් කැඳවන ලද අවස්ථාවේ පාලක කොන්සර්වේටිව් පක්ෂය කිසිදු ප්‍රබල අභියෝගයකින් තොරව මහා ජයග්‍රහණයක් ලබන බවට දේශ පාලන අනාවැකි පළවිය.

මාග්‍රට් තැචර්, ටෝනි බ්ලෙයාර් සහ අගමැති ඩේවිඩ් කැමරන් වැනි අගමැතිවරුන් විසින් මෑත භාගයේ වාර්තා කරන ලද දැවැන්ත මැතිවරණ ජයග්‍රහණ පවා අභිබවා යන මහා දේශපාලන ජයග්‍රහණයක් තෙරේසා මේ අගමැතිවරිය විසින් වාර්තා කරනු ඇතැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ ආරම්භයේ දී සඳහන් කළහ.

එහෙත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පසුගිය සතියේ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන ජනගත කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ඡන්දදායක මතයේ සැලකිය යුතු වෙනසක් සිදුවෙමින් පවතින බව අලුත්ම මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙයි.

කෝබින් සාධකය

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය මැයි 16 වෙනිදින මහජනයා අතට පත් කරන ලද අතර "සුළුතරයේ නොව බහුතරයේ අභිලාෂයන් ඉටු කරනු ලබන අනාගත ලේබර් ආණ්ඩුවක්" යටතේ පරිවර්තනශීලී සහ වගකිවයුතු සැලැස්මක් මගින් කොන්සර්වේටිව් පක්ෂයේ වසර හතක පාලනයේ වෙනසක් සිදු කරන බවට පක්ෂ නායක ජෙරමි කෝබින් එම මැතිවරණ ප්‍රකාශනය මගින් ප්‍රතිඥාවක් දුන්නේය.

Image caption ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින්-දේශපාලන ගමනක

සිය පක්ෂය බලයට පත්වුනොත් දැනට සරසවි සිසුන්ගෙන් අය කරනු ලබන දේශන ගාස්තු අහෝසි කරන බව කියා සිටින ලේබර් පක්ෂ නායකයා, මහජන සෞඛ්‍ය වෙනුවෙන් වැය කරන මුදල ද තවත් වැඩි කරන බවට ද ප්‍රතිඥාවක් දෙයි.

ජාතික දුම්රිය සේවය ,එංගලන්තයේ සහ වේල්සයේ ජල සැපයුම සහ තවත් ඇතැම් මහජන සේවාවන් යළි ජනසතු කරන බවට ප්‍රතිඥාවක් දෙන ලේබර් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය ඉහළ ආදායම්ලාභීන්ගෙන් වැඩිපුර බදු අය කිරීමෙන් ලබන මුදල් මහජන සේවාවන් වෙනුවෙන් යෙදවීම සිය සැලසුම වන බව කියා සිටියි.

සරසවි සිසුන්ගෙන් දැනට අයකරනු ලබන දේශන ගාස්තු අහෝසි කරන බවට ලේබර් පක්ෂ නායකයා විසින් දෙන ලද පොරොන්දුව එංගලන්තයේ සහ වේල්සයේ සරසවි සිසුන් අතර ජනප්‍රිය වෙමින් පවතින්නේ "කෝබින්මේනියාවක්" ද සමඟයි.

මහජන සහයෝගය ලැබීම අතින් ලේබර් පක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂය අතර වූ විශාල පරතරය මේවනවිට වේගයෙන් පටු වෙමින් පවතින බව අලුත් මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙයි.

කොන්සර්වේටිව් ප්‍රතිපත්ති වෙනසක්

මේ අතර කොන්සර්වේටිව් පක්ෂය සමාජ ශුභසාධන අංශයේ සිදු කරනු ලබන සීමාවන් සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිය මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කළ ඇතැම් යෝජනා වෙනස් කරන බව පවසයි.

Image caption අගමැතිවරිය මැතිවරණ සටනේ

නේවාසිකව සත්කාර ලබන වැඩිහිටියන් සහ රෝගීන් සඳහා වැය කරනු ලබන මුදලේ සීමාවක් පනවන බව කොන්සර්වේටිව් එම මැතිවරණ ප්‍රකාශනයේ දැක්වුණි.

ගිලන් නිවාසවල (care homes)නේවාසිකව සත්කාර ලබන වෘද්ධයන් සහ රෝගීන් මරණයට පත් පසු ඔවුන්ගේ නිවාස විකිණීමෙන් ලබන මුදලින් ඔවුන්ට ප්‍රතිකාර සඳහා වැය වූ මුදල් අයකර ගැනීමේ සැලැස්මක් කොන්සර්වේටිව් මැතිවරණ ප්‍රකාශනයට ඇතුලත් වූ අතර එය ශුභාසාධක සංවිධානවල දැඩි විවේචනයට ලක්විය.

වැඩිහිටියන් මිය යාමෙන් අනතුරුව ඔවුන්ට අයත් නිවාසවල උරුමය දරුවන්ට අහිමිවීම සමාජ කතිකාවක් බවට පත්ව තිබුණි.

එම තත්වය යටතේ සිය මැතිවරණ ප්‍රකාශනයේ වෙනසක් සිදු කරන බව අගමැතිනි තෙරේසා මේ(Theresa May) පසුව ප්‍රකාශ කළාය.

ඒ අනුව නේවාසිකව සත්කාර ලබන්නෙකුට පවුම් ලක්ෂයක වත්කමක් ඇතත් ඔහුට හෝ ඇයට තමන් වෙනුවෙන් වැය වෙන මුදල් පලාත් පාලන ආයතන ලවා ගෙවීමට හැකිවෙයි.

එම ප්‍රතිපත්තිමය වෙනස කොන්සර්වේටිව් පක්ෂයේම හිටපු ජ්‍යෙෂ්ඨ නායකයකු වූ හිටපු භාණ්ඩාගාර ලේකම් ජෝර්ජ් ඔස්බෝන් විසින් හඳුන්වන ලද්දේ හිටිඅඩියේ කෙළින්ම ආපසු හැරීමක් ( U-turn) හැටියටයි.

අගමැතිවරිය දිගින් දිගටම ඇයගේ වචන වෙනස් කරන බව ලේබර් නායකයෝ පවසති.

මේවනවිට ලේබර් පක්ෂය පෙරට යමින් සිය ශක්තිය වර්ධනය කර ගනිමින් ඇතැයි සති අන්ත පුවත්පත් සඳහන් කර තිබුණි.

මැතිවරණය ප්‍රකාශයට පත් කරන මොහොතේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර මහජන සහයෝගයේ පරතරය 20% කට මඳක් වැඩි මට්ටමක වූ අතර මේවනවිට එය 9 -13% ත් අතර තත්වයකට පත්ව ඇත.

මහජන මත විමසුම් අනුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ එක්සත් රාජධානියේ නිදහස් පක්ෂය (UKIP) මැතිවරණය ප්‍රකාශයට පත් කරන මොහොතේ ලද මහජන සහයෝගයෙහි කිසිදු වර්ධනයක් ලබා නොමැති අතර දැනටමත් "පරාජිතයා" වී සිටින එක්සත් රාජධානියේ නිදහස් පක්ෂය (UKIP) කලින් සිටි තත්වයේ පිරිහීමක් පෙන්නුම් කරයි. එම පක්ෂයේ ජනප්‍රියත්වය 3-6% අතර මට්ටමකට වැටී ඇත.

Image caption සරසවි දේශන ගාස්තු ඉවත් කිරීමේ ලේබර් ප්‍රතිඥාව ගැන සිසුන්ගේ ප්‍රසාදය

ස්කොට්ලන්ත ජාතික පක්ෂය(SNP) ස්කොට්ලන්තයේ ජනප්‍රියම දේශපාලන පක්ෂය බවට පත්ව ඇති අතර එම පක්ෂය ලේබර් සහ කොන්සර්වේටිව් පක්ෂ අභිබවා යමින් 40% කට අධික මහජන සහයෝගයක් ලබන බව සමීක්ෂණ මගින් පෙන්නුම් කෙරෙයි.

මෙම මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා තවත් සති දෙකකට අධික කාලයක් ඇති අතර ඉදිරි දිනවල ඉහත කී චිත්‍රයේ සැලකිය යුතු වෙනස්කම් සිදු වීමට විශාල ඉඩක් ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර