ලෝක නායකයෝ මැන්චෙස්ටර් ප්‍රහාරය හෙළා දකිති

  • 2017 මැයි 23
Image copyright Getty Images
Image caption මැන්චෙස්ටර් ප්‍රහාරය එල්ල කෙරුණේ ගෘහස්ත සංගීත සංදර්ශනයකට සහභාගී වෙමින් සිටි ගීතලෝලීන් ඉලක්ක කර ගෙනයි.

මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලු ආකාරයේ ත්‍රස්තක්‍රියා මැඩලීමට ලෝකයේ සෑම රාජ්‍යයක්ම ප්‍රමුඛතාව දිය යුතුව ඇතැයි කියා සිටියි.

දේශපාලන අරමුණු උදෙසා නිරායුධ අහිංසක පුරවැසියන් ඝාතනය කරනු ලැබීම බියසුලු ක්‍රියාවක් වන බව පවසන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ටත් බ්‍රිතාන්‍ය රජයට සහ එරට ජනතාවටත් සිය සංවේගය පළ කරයි.

මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය සහ කම්පාව පළ කරමින් ප්‍රකාශන නිකුත් කරන ප්‍රංශ සහ ජර්මන් නායකයෝ යුරෝපයේ ත්‍රස්ත විරෝධී සහයෝගීතාවය නංවාලන මෙන් ඉල්ලීමක් කරති.

පැරිස් නගරයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ තබා ඇති ශෝකය සටහන් කිරීමේ පොතේ පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) යුරෝපා ත්‍රස්ත විරෝධී සහයෝගීතාවයේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

Image copyright Getty Images
Image caption සංගීත සංදර්ශනයට සහභාගී වූවන්ගෙන් දහස් ගණනක් දරුවන්

චාන්සලර් අන්ගෙලා මර්කල් (Angela Merkel) ප්‍රකාශයක් කරමින්, මැන්චෙස්ටර් නගරයේ සිදු වූ ආකාරයේ අමානුෂික ක්‍රියා සැලසුම් කරන ලද පුද්ගලයන්ට එරෙහිව බ්‍රිතාන්‍යයත් සමඟ ශක්තිමත් ලෙස කටයුතු කිරීම සඳහා එම ඝාතනය මගින් ජර්මනියට අවස්ථාව උදාකළ බව සඳහන් කළාය.

මැන්චෙස්ටර් ප්‍රහාරය "තේරුමක් නොමැති ම්ලේච්ඡ ක්‍රියාවක්" හැටියට හෙළා දුටු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එම ප්‍රහාරයට ගොදුරුවූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිය සහෝදරත්වය සහ සහයෝගය පළ කරති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර