"බොන්ඩ් 007" අපරාජිතයා - රොජර් මුවර්

Image caption බොන්ඩ් සිනමාවේ නොමැරෙන රංගනය

ලෝකයේ වැඩි දෙනෙක් ඔහු හඳුනන්නේ "ජේම්ස් බොන්ඩ්" හැටියටයි.

එහෙත් ඔහුගේ සැබෑ ජීවිතයේ නම රොජර් මුවර්(Roger Moore).

රොජර් මුවර් ලොවපුරා සිනමාලෝලීන්ගේ අසහාය වීරයකු බවට පත්වුණේ සිනමාවේ 'ජේම්ස් බොන්ඩ්" රහස් පරීක්ෂක චරිතයට පණ පොවමිනි.

1927 වසරේ ඔක්තෝබර් 14 වෙනිදා දකුණු ලන්ඩනයේ ස්ටෝක්වෙල් නම් කලාපයේ දී උපත ලද ශ්‍රීමත් (Sir)රොජර් මුවර්ගේ පියා බ්‍රිතාන්‍ය පොලිස් භටයෙකි.

රොජර් මුවර් බොන්ඩ් චිත්‍රපට හතක ප්‍රධාන රහස් පරීක්ෂක චරිතයට පණදෙමින් 'ජේම්ස් බොන්ඩ්" චරිතය දිගු කලක් රඟපෑ නළුවා බවට පත්වූ අතර එම සිනමා වෘත්තාන්ත වාණිජ මට්ටමින් අතිශය සාර්ථක ඒවා විය.

සිය පහළොස් වැනි වියේ දී කලා අධ්‍යයන ආයතනයකට බැඳුණ රොජර් මුවර්, සජීවී සිනමාකරනය පිළිබඳ චිත්‍රාගාරයක ආධුනිකයකු වශයෙන් පසු කාලයේ කටයුතු කර ඇත.

සිය වියදමටවත් ප්‍රමාණවත් නොවූ වැටුපක් සහිත එම පළමු රැකියාව රොජර් මුවර් විසින් සළකා ඇත්තේ විනෝදය සඳහා ලද අවස්ථාවක් හැටියටයි .

රොජර් චරිතාංග නළුවකු බවට පත්වන්නේ ඉන් අනතුරුවයි.

ඉයන් ෆ්ලෙමින් ප්‍රබන්ධ

ලෝක ප්‍රකට 007 බොන්ඩ් සිනමා වෘතාන්ත මාලාවට පදනම් වන්නේ ඉයන් ෆ්ලෙමින් ගේ නවකතා පෙළයි.

Image copyright PA
Image caption සිනමාවේදියාට රාජකීය අගැයීමක්

ජේම්ස් බොන්ඩ් චරිතයේ නිර්මාතෘවරයා වන ඉයන් ෆ්ලෙමින් බ්‍රිතාන්‍යයේ වඩාත් ප්‍රකටම රහස් පරීක්ෂක වෘත්තාන්ත රචකයා වෙයි.

ඉයන් ෆ්ලෙමින්ගේ ප්‍රබන්ධ රහස් පරීක්ෂක කතා දෙකක් ඔහුගේ ජීවිත කාලය තුළ සිනමා නිර්මාණ බවට පත්වූ අතර සෙසු ඒවා සිනමා නිර්මාණ හැටියට එළි දුටුවේ ඔහුගේ මරණින් පසුවයි.

එක් චරිතයක් සමඟ බැඳුණ ලෝකයේ දීර්ඝතම සිනමා කතාමාලා අතර බොන්ඩ් චිත්‍රපට වෘත්තාන්ත මුල්තැනක් හිමිකර ගනියි.

බොන්ඩ් චිත්‍රපට මාලාවේ පළමු සිනමා කෘතිය වන "Dr.No" 1962 දී නිර්මාණය කරන ලද අතර එහි ජේම්ස් බොන්ඩ් චරිතයට පණදෙන ලද්දේ ස්කොට්ලන්ත ජාතික සාන් කොනරි(Sean Connery) විසිනි.

2015 දී තිරගත කෙරුණ 24 වැනි බොන්ඩ් චිත්‍රපටය වන "Spectre" හි ජේම්ස් බොන්ඩ් සඳහා පණදෙන ලද්දේ ඩැනියෙල් ක්‍රේග් ( Daniel Craig) විසිනි.

1973 පටන් 1985 අතර කාලය තුළ නිෂ්පාදනය කරන ලද එවැනි චිත්‍රපට හතක ජේම්ස් බොන්ඩ් රහස් පරීක්ෂක චරිතය රොජර් මුවර් විසින් රඟපා ඇත.

රොජර් මුවර් ලෝක සිනමා ඉතිහාසයේ අනභිභවනීය නළුවන් අතලොස්ස අතරට එක්වන්නේ එම චිත්‍රපට මගින් නොමැකෙන ලෙස සිනමාලෝලීන් මතකයේ සටහන් කළ අපූරු රංගන විලාසය හේතුවෙනි.

චරිත හතක්

රොජර් මුවර් රඟපෑ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට හතකි.

1 Live and Let Die (1973)

2 The Man with the Golden Gun (1974)

3 The Spy Who Loved Me (1977)

4 Moonraker (1979)

5 For Your Eyes Only (1981)

6 Octopussy (1983)

7 A View to a Kill (1985)

සාන් කොනරි,ජෝර්ජ් ලසෙන්බි,ජෝර්ජ් මුවර්,තිමති ඩෝල්ටන්,පියර්ස් බ්‍රොස්නන් සහ ඩැනියෙල් ක්‍රේග් යන සිනමාවේදීන් සයදෙනා බොන්ඩ් චිත්‍රපට මාලාවේ ජේම්ස් බොන්ඩ් රහස් පරීක්ෂක චරිතයට පණ දීමෙන් සිනමා ඉතිහාසයේ විරුවන් හැටියට ජීවමාන වෙති.

Image caption බිරිඳ ක්‍රිස්තිනා සමඟ

1963 සහ 1969 අතර ප්‍රචාරය කෙරුණ "ද සේන්ට්" (The Saint ) ටෙලි වෘත්තාන්ත මාලාවේ සයිමන් ටෙම්ප්ලර් (Simon Templar) චරිතය රඟ දක්වන ලද්දේත් රොජර් මුවර් විසිනි.

පිළිකා රෝගයෙන් ටික කලක් පීඩා විඳි අසහාය නළුවා මැයි 23 වෙනිදින දිවි සිනමාවෙන් සමුගන්නා විට අසූනව වැනි වියේ පසු විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර