ලේබර් -කොන්සර්වේටිව් තරඟය තවත් තියුණු වෙයි

  • 2017 මැයි 27
Image caption ලේබර් නායක කෝබින් සහ කොන්සර්වේටිව් නායිකා තෙරේසා මේ

ලබන ජුනි අටවෙනිදා (08)පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහමැතිවරණය ලංවෙමින් පවතිද්දී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන කොන්සර්වේටිව් සහ ලේබර් පක්ෂය අතර මහජන සහයෝගය ලැබීම අතින් පැවති විශාල පරතරය තවත් කුඩා වෙමින් පවතින බව අලුත්ම මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙයි.

කැන්ටර් (Kantar Public's poll) මහජන මත විමසුම අනුව එම පක්ෂ දෙක අතර පරතරය 08%ක මට්ටමට ලංවී ඇති අතර යූගොව්(YouGov) මත විමසුම අනුව එම පරතරය 05% ක් පමණි.

2015 බ්‍රිතාන්‍ය මහමැතිවරණය සමඟ බලන විට එදා කොන්සර්වේටිව් සහ ලේබර් පක්ෂ අතර පැවති පරතරයටත් වඩා අඩු පරතරයක් මැයි 26 වෙනි දින නිකුත් කෙරුණ මහජන මත විමසුම් ප්‍රතිපල මගින් ප්‍රකාශ විය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මෙම මැතිවරණය ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාව වනවිට ජයග්‍රහණය සඳහා වූ ඉඩකඩ අතින් පාලක කොන්සර්වේටිව් පක්ෂය සහ ලේබර් පක්ෂය අතර විශාල පරතරයක් පැවති අතර ආණ්ඩු පක්ෂය යෝධ ජයග්‍රහණයක් ලබන බවට දේශපාලන අනාවැකි පළ වෙමින් තිබුණි.

මේ අතර පසුගියදා මැන්චෙස්ටර් රඟහලට එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟ සියලු බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂ ප්‍රචාරක කටයුතු අත්හිටුවන ලද අතර මේවනවිට එම ප්‍රචාරක කටයුතු නැවත ආරම්භ කරනු ලැබ ඇත.

පෙර සඳහන් කළ කැන්ටර් (Kantar Public's poll) මහජන මත විමසුම මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට පෙර පැවැත්වූ අතර යූගොව්(YouGov) මත විමසුම සිදු කෙරුණේ බෝම්බ ප්‍රහාරයෙන් පසුවයි.

Image caption කොන්සර්වේටිව් මැතිවරණ ප්‍රකාශනය එළිදක්වමින්

එහෙත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර පරතරය අවමවීම කෙරෙහි මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයේ බලපෑමක් ඇති බවක් ඉන් අදහස් නොකෙරෙයි.

බොහෝ කරුණු අතින් ජෙරමි කෝබින් ලබන මහජන සහයෝගයේ ඉහළ යාමක් පෙන්නුම් කළත් 'බ්‍රිතාන්‍ය ආරක්ෂාව' පිළිබඳ මාතෘකාව ගත්විට තෙරේසා මේ අගමැතිවරිය ලබන මහජන සහයෝගයේ වෙනසක් සිදු වී නැත.

රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත අතින් ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින්ට(Jeremy Corbyn) වඩා කොන්සර්වේටිව් නායිකා අගමැතිනි තෙරේසා මේ (Theresa May) වැඩි මහජන සහයෝගයක් ලබන බව මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙයි.

එම කාරණයේ දී තෙරේසා මේ සඳහා 55% ක මහජන සහයෝගයක් පෙන්නුම් කරන අතර ලේබර් නායකයාට ඇත්තේ 33% ක මහජන සහයෝගයක් පමණක් බව යූගොව් මහජන මත විමසුම පවසයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව එතෙක් ඔවුන් ලබමින් සිටි මහජන සහයෝගයේ මට්ටමෙහි වෙනසක් දක්නට ලැබුණ අතර, මේවනවිට කොන්සර්වේටිව් පක්ෂය වෙනුවෙන් ලැබෙන ජන සහයෝගයේ රේඛාව පහළට හැරී ඇති අතර ලේබර් පක්ෂය කෙමෙන් ඉහළ සහයෝගයක් වාර්තා කරමින් සිටියි.

Image caption ලේබර් පක්ෂයෙන් අභියෝගයක්

සරසවි සිසුන් විසි ගෙවිය යුතු දේශන ගාස්තු සහමුලින්ම කප්පාදු කිරීමේ පටන් ශුභසාධන අංශයට අදාළ සහන මල්ලක් ලේබර් පක්ෂ මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් වෙයි.

ඒ සමඟ අගමැතිනි තෙරේසා මේ තම කොන්සර්වේටිව් පක්ෂ මැතිවරණ ප්‍රකාශනයේ අන්තර්ගත වූ ශුභ සාධන අංශයේ මතභේදයට තුඩු දුන් සංශෝධන වලට අදාළ යෝජනාවන්හි වෙනසක් කෙරෙහි යොමු වූවාය.

එහෙත් එය සිය පිළිවෙත අතින් ආපසු හැරීමක් (Uturn) නොවන බවත් අගමැතිවරිය අවධාරණය කරන්නීය.

දැනට පෙන්නුම් කෙරෙන මට්ටමින් ලේබර් සහ කොන්සර්වේටිව් පක්ෂ අතර මහජන සහයෝගයේ පරතරය ක්‍රමයෙන් අඩුවීමට හේතුව කුමක්ද?

එම හේතුව කුමක් වුනත්,සිහිපත් කළයුතු වැදගත් කාරණය වන්නේ තනි තනි පුද්ගල ප්‍රතිචාර කෙරෙහි යොමුවීම නොව පොදු ප්‍රවණතාවය සැලකිල්ලට ගැනීමයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර