"මාස පහයි - මිසයිල නවයයි"

  • 2017 මැයි 29
Image copyright Reuters
Image caption නිලධාරීන් පවා විශ්මයට පත්කරමින් මිසයිල ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීමට පැමිණි උතුරු කොරියානු නායකයා

උතුරු කොරියාව සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට අදහස් කරන්නේ නම් 'ප්යෝන්ග්යැන්' පාලනය ඊට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කළ යුතුව ඇතැයි චීනය පවසයි.

බේජිං බලධාරීන් විසින් එම නිවේදනය නිකුත් කරන ලද්දේ උතුරු කොරියාව මේවසර ඇතුළත නවවෙනි මිසයිලය අත්හදා බලනු ලැබීමෙන් පසුවයි.

එක්සත් ජාතීන් විසින් ප්‍රකාශිත සම්බාධක පවා නොතකා හරිමින් උතුරු කොරියාව සිය නවවෙනි මිසයිලය එරට නැගෙනහිර වෙරළින් ඔබ්බෙහි සයුරට එල්ල කර ඇත.

කෙටි දුර ප්‍රහාර සඳහා උපයෝගී කරගත හැකි එම මිසයිලය කිලෝමීටර් 450 ක දුරක් ගෙවා ජපාන මුහුදට වැටුන බව වාර්තා වෙයි.

Image copyright AFP/getty
Image caption මිසයිලය කිලෝ මීටර් 450 දුර ගමන් ගෙන ඇත. කිම් ජොන් අන් සුදු කමිසයෙන් සැරසී

ජපානය සහ දකුණු කොරියාව විසින් එම මිසයිල ප්‍රහාරය හෙළා දකිමින් නිවේදන නිකුත් කරනු ලැබ ඇත.

'ප්යෝන්ග්යැන්' පාලනයේ ප්‍රධාන මිතුරු රට වන චීනය මෙම නවවෙනි මිසයිල ප්‍රහාරයත් පුරුද්දක් හැටියට මෙවරත් හෙළා දකියි.

එහෙත් චීනය එම මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් ගැනීමෙන් වැළකී ඇත.

'ප්යෝන්ග්යැන්' බලධාරීන් ඔවුන්ගේ මිසයිල සහ න්‍යෂ්ඨික ව්‍යාපෘතියෙන් ඉවත්කර ගැනීමට ඇති එකම මාවත වන්නේ අසල්වැසි රටවල් උතුරු කොරියාවත් සමඟ සාකච්ඡා මාර්ගයට ප්‍රවේශවීම පමණක්ය යන්න චීනයේ විශ්වාසයයි.