පැනමාවේ නොරීගා දිවියෙන් සමුගනී

  • 2017 මැයි 30
Image copyright EPA
Image caption බලයේ සිටියදී සහ නඩු විභාගයට මුහුණ දෙමින්

පැනමාවේ හිටපු හමුදා පාලක ජනරාල් මැනුවෙල් නොරීගා (Manuel Noriega) අභාවප්‍රාප්ත විය.

අසූතුන් වෙනි වියේ පසු වූ හිටපු හමුදා පාලකයා පැනමාවේ දී මරණයට පත් වූ බව නිල වශයෙන් නිවේදනය කරනු ලැබ ඇත.

ලතින් ඇමෙරිකානු කලාපයේ සිටි ප්‍රබල ඇමෙරිකානු හිතවතකු වූ නොරීගා බලයෙන් නෙරපා හරින ලද්දේත් ඇමෙරිකානු බලධාරීන් විසිනි.

වොෂිංටන් බලධාරීන් විසින් එම පියවර ගනු ලැබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම සම්බන්ධයෙන් නොරීගාට එරෙහිව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උසාවියක නඩු පවරනු ලැබීමෙන් පසුවයි.

1989 වසරේ ඇමෙරිකානු හමුදා කණ්ඩායමක් පැනමාව ආක්‍රමණය කරමින් ජනරාල් නොරීගා අත්අඩංගුවට ගෙන එක්සත් ජනපදයට ගෙනගිය අතර එය වියට්නාම් යුද්ධයෙන් පසු ඇමෙරිකාව සිදුකළ බරපතළම ආක්‍රමණය ලෙස සැලකෙයි.

Image copyright EPA
Image caption රෝගී නොරීගා නිවාස සිර අඩස්සියට පත් කරනු ලැබුණි

ජනාධිපති ජෝර්ජ් HW බුෂ් (ජ්‍යෙෂ්ඨ) විසින් කරන ලද නියෝගයක් අනුව සිදු කළ එම ආක්‍රමණයට 28000 ක ඇමෙරිකානු හමුදාවක් යොදවා ඇත.

අනතුරුව මත්ද්‍රව්‍ය සහ කළු සල්ලි ජාවාරමේ නිරතවීමේ චෝදනා මත විභාග කෙරුණ නඩු විභාගයක දී වරදකරු කෙරුණ ජනරාල් නොරීගා දාහත් අවුරුදු සිර දඬුමකට යටත් කරනු ලැබුණි.

ඇමෙරිකා එක්සත් ජනපදය 2010 වසරේ ජනරාල් නොරීගා ප්‍රංශයට භාරදුන් අතර එතැනින් යළි පැනමාවට යවනු ලැබුණ ඔහුට දේශපාලන ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ චෝදනා යටතේ විසි අවුරුදු සිර දඬුවමක් නියම විය.

පැනමා ජනාධිපති ජුවාන් කාර්ලෝස් වරේලා (Juan Carlos Varela) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් "මැනුවෙල් නොරීගා ගේ අභාවයත් සමඟ පැනමා ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් නිමවිනැයි"කියා සිටියේය.