ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් උපදේශකයෙක් අහිමි වෙයි

Image copyright BLACK ROCK GROUP
Image caption මයික් ඩුබ්ක් ධවල මන්දිරයට බඳවා ගනු ලැබුනේ ජනාධිපති සන්නිවේදන අංශය ප්‍රතිසංස්කරණය කිරීමට.

ධවල මන්දිර සන්නිවේදන අංශයේ ප්‍රධානී මයික් ඩුබ්ක් (Mike Dubke) පදවියෙන් ඉල්ලා අස්විය.

ඔහු පදවිය භාර ගෙන ගතවුනේ මාස තුනක් පමණි.

ඩුබ්ක් සිය ඉල්ලා අස්වීම මේ මාසය මුලදී ඉදිරිපත් කළත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සම්පූර්ණ කළ මැද පෙරදිග සහ යුරෝපා සංචාරය නිමවෙන තෙක් ධුරයේ රැඳී සිටීමට ඔහු එකඟ වූ බව ධවල මන්දිර උපදේශක කෙලී කොන්වේ (Kellyanne Conway) ප්‍රකාශ කරයි.

මයික් ඩුබ්ක් රිපබ්ලිකන් පක්ෂයේ මූලෝපාය පිළිබඳව පළපුරුදු විශේෂඥයකු ලෙස සැලකෙයි.

එහෙත් ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යාපාරයට හවුල් නොවූ තැනැත්තෙකි.

Image copyright Reuters
Image caption මයික් ඩුබ්කේ අත්හළ පදවියට සාන් ස්පෛසර් ?

ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව ධවල මන්දිර මාධ්‍ය මූලෝපාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මයික් ඩුබ්ක් බඳවා ගත් අතර, ඔහු ධවල මන්දිරයෙන් ඉවත්ව යන්නේ ජනාධිපති ට්‍රම්ප් ගේ සන්නිවේදන කණ්ඩායමේ අවුල් වියවුල් සම්බන්ධයෙන් වාර්තා පළ වෙමින් පවතින අතරයි.

මයික් ඩුබ්ක් ඉවත්ව යාමෙන් ඇතිවෙන පුරප්පාඩුව සඳහා ධවල මන්දිර මාධ්‍ය ලේකම් ෂාන් ස්පෛසර්(Sean Spicer) පත් කෙරෙනු ඇතැයි සැලකෙයි.