ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පතයි

  • 2017 ජුනි 2
Image copyright Getty Images

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් කිහිපයකට පනවනු ලැබූ සංචාරක තහනම නැවත බලාත්මක කරන ලෙස ධවල මන්දිරය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි.

එම තහනම අවලංගු කරමින් මීට පෙර එක්සත් ජනපදයේ පහළ උසාවියක විනිසුරුවරයෙක් නියෝගයක් නිකුත් කළේය.

එම අධිකරණ නියෝගය ඇමරිකාවේ ෆෙඩරල් අභියාචනාධිකරණයක් විසින් තහවුරු කරනු ලැබුණි.

Image copyright Reuters
Image caption ට්‍රම්ගේ විධායක නියෝගයට විරෝධතා

එම අධිකරණ නියෝගය අවලංගු කර නැවත අදාළ රටවලට සංචාරක තහනම පනවන මෙන් ඉල්ලා ධවල මන්දිරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වෙත හදිසි ඉල්ලුම්පත්‍ර දෙකක් ඉදිරිපත් කර තිබේ.

මෙම සංචාරක තහනම පනවන ලද්දේ ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවලට ය.

අදාළ සංචාරක තහනම සඳහා ජනාධිපති ට්‍රම්ප් නිකුත්කළ විධායක නියෝගය නිසා එක්සත් ජනපදය තුළ විරෝධතා දියත්වුණි.

"මව් බිම ආරක්ෂා කිරීමට"

එහෙත්, සිය නියෝගය මගින් රට තුළට ත්‍රස්තවාදීන් ඇතුලුවීම වැළැක්වීම අපේක්ෂා කරන බව ජනාධිපති ට්‍රම්ප් කියා තිබුණි.

'එක් ආගමකට තවත් ආගමකට වඩා විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් වැළකිය යුතු' බව පැවසෙන ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වගන්තිය ජනාධිපතිවරයාගේ විධායක නියෝගය මගින් උල්ලංඝනය වන බව අධිකරණය පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයාගේ විධායක නියෝගයෙන් 'මව් බිම ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර එය නෛතික වශයෙන් නිවැරදි පියවරක් බව ආණ්ඩුව විශ්වාස කරන' බව ධවල මන්දිරය පවසයි.