ඇමති අර්ජුන් ගහ උඩ

  • 2017 ජුනි 5
Image copyright kishor singh solanki
Image caption ඇමති අර්ජුන් දුරකථන සංඥා සොයා ඉණිමග නගිමින්

සිය ජංගම දුරකථන සන්නිවේදන සංඥා ලබා ගැනීම සඳහා ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ ඇමතිවරයකුට ගසකට නැගීමට සිදුවීමේ පුවතක් රාජස්ථාන් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

එම තත්වයට මුහුණ දී ඇත්තේ ඉන්දියාවේ මුදල් රාජ්‍ය ඇමති අර්ජුන් මෙග්වාල් (Arjun Meghwal) ඇමතිවරයායි.

සඳුදා (ජූනි 04) රාජස්තානයේ පිහිටි සිය මැතිවරණ කොට්ඨාසයේ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වෙමින් සිටියදී සිය ඡන්දදායකයන්ගේ ප්‍රශ්න වලට සවන් දෙමින් සිටි ඇමතිවරයා අදාළ නිලධාරීන් සිය ජංගම දුරකතනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසීරු විය.

එම අවස්ථාවේ එහි සිටි ඡන්දදායකයෝ එම ස්ථානයේ බිම් මට්ටමේ දුරකථන සංඥා නොමැති බවත් එහෙත් ප්‍රශ්නයට විසඳුමක් තමන් සතු බවත් ඇමතිවරයාට දැනුම් දුන්හ.

Image caption ඇමතිවරයා නිලධාරීන් අමතයි.

එම විසඳුම කුමක්දැයි ඇමතිවරයා විමසූ විට ඡන්දදායකයන්ගේ උපදේශය වූයේ 'ගසකට නැග' දුරකථන සංඥා සබඳතා ඇති කර ගන්නා ලෙසයි.

එහෙත් නිතරම ජටාවක් (turban) පැළඳ සිටින හැට දෙහැවිරිදි (62) මුදල් රාජ්‍ය ඇමති අර්ජුන් මෙග්වාල් මොහොතක් බලා සිටියේ තමාට ගස් නැගීම අසීරු හෙයිනි.

එහෙත් සිය ප්‍රයත්නය අත් නොහළ ඡන්දදායකයෝ වහාම ඉණිමගක් සොයා ගෙනැවිත් ඉණිමග නැග හෝ ජංගම දුරකථනය මගින් අවශ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගන්නා මෙන් ඇමතිවරයාට බල කර සිටියහ.

ඒ අනුව ඉණිමඟේ ඉහළ නගිමින් සිය දුරකථන සබඳතා යළි ගොඩනඟා ගත් ඇමතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දී, ඉණිමග බැස පහළට ලඟා විය.

සබැඳි විෂයයන්