ලොව මවිත කළ ‘දින හයේ යුද්ධය’ -සැඟවුණු තොරතුරු

Image copyright Alamy

මීට අඩ සියවසකට පෙර ඊශ්‍රායලය සහ අසල්වාසී රාජ්‍යයන් අතර යුද්ධයක් ආරම්භ විය. යුද්ධය පැවතියේ දින හයකි. නමුත් ඉන් ලොවට ඇතිවූ බලපෑම අදටත් පවතී.

'දින හයේ යුද්ධය' හටගත්තේ 1967 දී වුවද ඊට මග විවර වීම ඊට දශක දෙකක් ඈතට විහිදෙයි.

1948 වසරේ අවසාන භාගයේ දී අසල්වාසී අරාබි රාජ්‍යයන්, ඊශ්‍රායලය ආක්‍රමණය කළේ 'නව රාජ්‍යය' විනාශ කර දැමීමටය. නමුත් ඒ අරමුණ ඉටු නොවිණි. අරාබි හමුදා පරාජය විය.

මෙම සටනේ දී ඊජිප්තු හමුදාවට ද දැඩි ප්‍රහාර එල්ල විය. එවක තිස් හැවිරිදි ගමාල් අබ්දෙල් නාසර් ඊජිප්තු හමුදාවේ මේජර්වරයෙකි.

ඊශ්‍රායල් හමුදාවේ දකුණුදිග සේනාංකයේ මෙහෙයුම් ප්‍රධානියා වූයේ විසිහය හැවිරිදි යිට්ස්හාක් රබින් ය.

Image copyright Getty Images
Image caption සූවස් ඇල අරභයා ඇතිවූ අර්බුදයේ දී බ්‍රිතාන්‍යයට, ප්‍රංශයට සහ ඊශ්‍රායලයට අභියෝග කළ ඊජිප්තුවේ නව ජනාධිපති ගමාල් අබ්දෙල් නාසර් වීරයෙකු බවට පත්විය

"මහා විනාශය"

හිට්ලර්ගේ නාසි හමුදාව විසින් යුදෙව්වන් මිලියන හයක් මරා දමනු ලැබ වසර කිහිපයක අවෑමෙන් තමන්ටම කියා රාජ්‍යයක් ස්ථාපනය වීම යුදෙව්වන්ගේ සිහිනය සැබෑ වීමකි.

නමුත් පලස්තීනුවන් '1948' වසර හැඳින්වුයේ "මහා විනාශය" ලෙසිනි.

ඊශ්‍රායලය බිහිවූ භූමියෙන් පලස්තීනුවන් 750,000ක් පලා ගියහ. නැතහොත් පලවා හරිනු ලැබුණි. ඔවුන් කිසිවෙකුට නැවත එම භුමියේ පය තැබීමට අවසර නැත.

එවක 'ළදරු ඊශ්‍රායලය' අතින් පරාජයට පත්වීම අරාබි හමුදාවන්ට මහත් දේශපාලනික කැළඹීමක් ගෙන දුන් මොහොතකි. එම කම්පනයෙන් මිදීමට වසර කිහිපයක් ගතවීත් අරාබි රාජ්‍යයන්ට නොහැකි විය.

Image copyright Getty Images
Image caption යිට්ස්හාක් රබින් (වමේ) 1967 වනවිට ඊශ්‍රායලයේ හමුදාපතිවරයා බවට පත්විය

පරාජයේ වේදනාව

1948 යුද්ධයෙන් සිව් වසරක් ගතවෙද්දී හමුදා කුමන්ත්‍රණයකින් ඊජිප්තුවේ රජු නෙරපා හරින්නට මූලික වුනේ ගමාල් අබ්දෙල් නාසර් ය. 1956 වනවිට ඊජිප්තුවේ ජනාධිපතිවරයා බවට පත්වූයේද නාසර් ම ය.

එම වසරේදී ම සූවස් ඇල අරභයා ඇතිවූ අර්බුදයේ දී බ්‍රිතාන්‍යයට, ප්‍රංශයට සහ ඊශ්‍රායලයට අභියෝග කළ ඊජිප්තුවේ නව ජනාධිපති ගමාල් අබ්දෙල් නාසර් වීරයෙකු බවට පත්වෙමින් මුළු අරාබි ලෝකයටම නායකයා විය.

මේ අතරතුර සිරියාවේ වරින් වර හමුදා කුමන්ත්‍රණ දියත් වෙමින් තිබිණ.

ඊශ්‍රායලයේ යිට්ස්හාක් රබින් තවමත් ඊශ්‍රායල් හමුදාවේ උසස් නිලධාරියෙකි. 1967 වන විට ඔහු ඊශ්‍රායලයේ හමුදාපතිවරයා බවට පත්විය.

1948 දී ඊශ්‍රායලය අතින් පරාජයට පත්වීමේ වේදනාව තවමත් අරාබියෙන් පහව ගොස් නැත. අසල්වාසී අරාබි රාජ්‍යයන් එක්වී තමන් විනාශ කර දැමීමට ගත් උත්සාහ ඊශ්‍රායලයට ද කිසිදා අමතක කළ නොහේ.

ඇවිලෙන ගින්නට පිදුරු

නමුත් කොයි මොහොතක හෝ යළිත් යුද්ධයක් ඇතිවිය හැකි බව දෙපාර්ශවයම දැන නොසිටියා නොවේ.

එකිනෙකා කෙරෙහි සැකයෙන් බැලීමටත් වෛරී සහගතව සිතන්නටත් ඊශ්‍රායලයට සහ අසල්වාසී අරාබි රටවලට ඕනෑතරම් හේතු සොයා ගත හැකි විය.

ඇවිලෙන ගින්නට පිදුරු වැටුනේ 50 සහ 60 දශකයේ දී ඇමරිකාව සහ එවක 'සෝවියට් සමූහාණ්ඩුව' අතර පැවති ශීතල යුද්ධයෙනි.

ඊජිප්තු ගුවන් හමුදාව නවීන ප්‍රහාරක යානා සහ අවි ආයුධවලින් පොහොසත් කරන ලද්දේ සෝවියට් සමූහාණ්ඩුව විසිනි.

ඊශ්‍රායලය උණුසුම් ලෙස හාද වන්නේ එක්සත් ජනපදය සමග ය. නමුත් ඊශ්‍රායල හමුදාවට සැපයුම් ලබාදෙන ප්‍රධාන රට බවට ඇමරිකාව එවකට පත්ව නොසිටියේය. 1960 දශකයේ දී ඊශ්‍රායලය ගුවන් යානා මිලදී ගත්තේ ප්‍රංශයෙනි. යුද ටැංකි මිලදී ගත්තේ බ්‍රිතාන්‍යයෙනි.

Image copyright Getty Images
Image caption ජෙරුසලම, 1965 දී

1948 යුද්ධයෙන් පසු ඊශ්‍රායලය තම පැවැත්ම ශක්තිමත් කර ගැනීම සඳහා නිමක් නැතිව වෙහෙසෙන්නට පටන් ගත්තේය. දශලක්ෂයකට අධික සංක්‍රමණිකයන් පිරිසකට දොරටු විවර කළේය. හමුදාවට සේවය කිරීම තුළින් ඔවුන් ඊශ්‍රායල් ජාතියට එක්විය.

ඊශ්‍රායලය, අතිශය ප්‍රබල හමුදාවක් කඩිනමින් ගොඩනගමින් සිටියේය. 1967 වනවිට ඔවුන් තමන්ගේම න්‍යෂ්ඨික අවි ආයුධවලින් සන්නද්ධ හමුදාවක් සහිත රාජ්‍යයක් බවට පත්වීමේ සන්ධිස්ථානයේ ආසන්නයට ම පැමිණ සිටියේය.

ඊශ්‍රායලය එකම යුද්ධයකින් හෝ පරාජයවීමට සුදානම් නැත. හැම යුද්ධයක්ම ජයගත හැකි බවට හමුදාපති යිට්ස්හාක් රබින්ට දැන් අවිශ්වාසයක් නැත.

Image copyright Getty Images
Image caption යුද්ධයට සුදානම් වන ඊශ්‍රායල් සාමාන්‍ය ජනතාව, 1967 වසර

ජනාධිපතිවරයාගේ මිතුරා ෆීල්ඩ් මාෂල්

ඊජිප්තුව සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වය වන සිරියාව තම හමුදාව පුහුණුකරවීමට එතරම් උනන්දුවක් නොදැක්වීය. ඒ වෙනුවට ඔවුන් පුරසාරම් දොඩවමින් සිටියේය.

සූවස් ඇල පිළිබඳ ආරවුලේදී ඔවුන් ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය පරදවා දේශපාලනමය ජයග්‍රහණයක් වාර්තා කිරීම තුළින් 1948 දී ඔවුන් ලද යුද පරාජය අමතක වී තිබිණ.

ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නාසර් තම වීරත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නව ව්‍යාපෘතියක නිරතව සිටියේය. ඔහු අරාබි ලෝකයේ ජාතිමාමක ව්‍යාපාරයකට අවතීර්ණ විය. ජනාධිපතිවරයා තම සමීපතම මිතුරා කර ගත්තේ තමන්ගේ ත්‍රිවිධ හමුදාවටම අණදෙන්නා වූ ෆීල්ඩ් මාෂල් අබ්දුල් හකීම් අමිර් ය.

ෆීල්ඩ් මාෂල් අමීර්ගේ ප්‍රධාන රාජකාරිය වූයේ සතුරාට මුහුණ දීම සඳහා හමුදාව ශක්තිමත් කිරීම නොවේ. ජනාධිපතිවරයාට එරෙහිව හමුදා කුමන්ත්‍රණ සිදු නොවන ආකාරයට හමුදා නිලධාරීන් සතුටින් තැබීම ඔහුගේ පරම වෑයම විය.

1967 දී ඊජිප්තුවට යේමනය සමඟ යුද්ධයක පැටලෙන්නට සිදු විය. ඇමරිකාවට වියට්නාමයේ දී අත්වූ ඉරණම, ඊජිප්තුවට යේමනයේ දී අත්විය. කෙතරම් හානියක් සිදුවුවත් ජනාධිපති නාසර් තම ත්‍රිවිධ හමුදාපති අමීර් ඉවත් කළේ නැත.

Image copyright Getty Images
Image caption ඊජිප්තුවේ ත්‍රිවිධ හමුදාවටම අණදෙන්නා වූ ෆීල්ඩ් මාෂල් අබ්දුල් හකීම් අමිර්

අවි ගත් කුමාරයා

සිරියානු හමුදාව ද දේශපාලනීකරණය වී හමාර ය. හමුදා කුමන්ත්‍රණ පෙළක ප්‍රතිඵල ලෙස ජනරාල්වරු පෙළක් වෙනස්වෙමින් පැවතිණි.

කෙසේ නමුත් ඊජිප්තුව මෙන්ම සිරියාව ද 'සෝවියට් සමූහාණ්ඩුවේ' හිත මිතුරෝ වූහ.

එකමුතුකම, සමානාත්මතාව, සහ ජාතිකත්වය පිළිබඳව අරාබි ලෝකය වැඩි වැඩියෙන් කතා කරති. නමුත් යථාර්ථය නම් ඔවුන් එකිනෙකා ගැඹුරින් භේද භින්න ය.

ජෝර්දානයේ හුසේන් රජු මේ වනවිට බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ සමීප මිතුරෙකු බවට පත්වී සිටියේය. හුසේන් රජුගේ සීයා වූ අබ්දුල්ලා රජු සහ බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වූ යුදෙව් කාර්යාංශ අතර රහසිගත සබඳතා පැවතුණි.

1951 දී ජෙරුසෙලමේ මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට දී පලස්තීන ජාතිකයෙකු අතින් අබ්දුල්ලා රජු ඝාතනයට ලක් විය.

එවක හුසේන් කුමරුගේ වයස අවුරුදු පහළොවකි. ඔහු තම සීයාගේ මරණය දුටුවේය. ඔහු පළමු වරට තුවක්කුවක් අතට ගත්තේ ය. හුසේන් කුමරු එවක් පටන් තුවක්කුවක් අතැතිව සිටියේය. වසරක් අවෑමෙන් ජෝර්දානයේ සිංහාසනය ඔහුට හිමිවිය.

Image copyright Getty Images
Image caption ජෝර්දානයේ හුසේන් රජු

පූර්ණ සාමය ඇතිවීමට තරම් නොවුනත් ජෝර්දානය ටිකෙන් ටික ඊශ්‍රායලයට සමීප වෙමින් සිටියේය. හුසේන් රජු සමඟ ද රහසිගත කතා බහ පැවතුණි.

ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර දේශසීමාව තරමක් නිහඬව පැවතිණි. නමුත් සිරියානු දේශ සීමාව අවට නිරන්තර අරගල සිදු විය. ඊශ්‍රායලය දෙසට ගලන ජෝර්දාන ගංගාව වෙනතකට හැරවීමට සිරියාව යත්න දරයි. ඊශ්‍රායලයට ජලය සැපයෙන්නේ ජෝර්දාන ගංගාවෙනි.

මේ අතරතුර ඊශ්‍රායලයට වරින්වර පහර දී පලා යන පලස්තීන ගරිල්ලා සටන්කරුවන්ට සිරියාවේ රැකවරණය ලැබෙයි.

1967 වනවිට ඊශ්‍රායල් හමුදාව කිසිදා නොවූ විරු තරමින් යුද්ධයකට සුදානම් ය. තම රට වෙනුවෙන් පෙරමුණ ගැනීමට සොල්දාදුවෝ පෙළ ගැසී සිටිති.

Image copyright Alamy
Image caption කල් මරමින් නොසිට ක්ෂණික ප්‍රහාරයකට යායුතු බව පවසමින් ඊශ්‍රායල් හමුදා ප්‍රධානීන්ට විශාල බලපෑමක් කරන ලද්දේ ඊශ්‍රායලයේ කීර්තිමත් හමුදා ප්‍රධානියෙකු වූ මෝශේ දයාන් විසිනි

යුද්ධයේ 'ආරම්භක සංඥාව'

දේශසීමා ආරක්ෂාව තර කෙරුණි. පලස්තීන ගරිල්ලන් වැට පැන පහර දී පලා යති. ඔවුන් තම රට ආක්‍රමණය කරන ත්‍රස්තවාදීන් ලෙස ඊශ්‍රායලය විසින් හඳුන්වනු ලැබිණ. ඊශ්‍රායලය පෙරළා පහර දෙති.

ඊශ්‍රායල් - සිරියා දේශ සීමාව අවට ගැටුම් මහා යුද්ධයකට පාර කපමින් තිබුණි.

සෝවියට් සමූහාණ්ඩුවේ මැදිහත්වීම හේතුවෙන් සියල්ල බරපතළ විය.

1967 මැයි 13වැනිදා සෝවියට් සමූහාණ්ඩුව විසින් ඊජිප්තුවට අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබිණි.

ඊශ්‍රායල් හමුදා සිරියානු දේශසීමාව දෙසට ගමන් කරමින් සිටින බවත් සතියක් ඇතුළත ප්‍රහාරයක් දියත් කරනු ඇති බවත් එම පණිවිඩයේ සඳහන් විය.

යුද්ධයේ 'ආරම්භක සංඥාව' සෝවියට් සමූහාණ්ඩුවෙන් නිකුත්වූයේ මන්දැ'යි එවක් පටන් විවාදාපන්න ය.

ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය වන්නේ සෝවියට් රුසියාව හිතාමතා මෙම අර්බුදය ඇති කළ බවය. එමගින් ඊශ්‍රායලයේ න්‍යෂ්ටික වැඩසටහන නවතා දැමීම සෝවියට් රුසියාවේ යටි අරමුණ වී තිබූ බව එම ඉතිහාසඥයෝ පවසති.

පළමු වෙඩි උණ්ඩය

ඊජිප්තු හමුදාව වහාම යුද්ධයකට පෙළගස්වන ලෙස, සෝවියට් රුසියාවේ පණිවිඩය ලැබී පැය 24ක් ඇතුළත ඊජිප්තුවේ ත්‍රිවිධ හමුදාවට ම අණදෙන ෆීල්ඩ් මාෂල් අමර් නියෝග කළේය.

නමුත් මේවනවිට ඊජිප්තු හමුදාවේ අඩක් පමණ යේමනයේ සටනට එක්වී ඇති බැවින් මෙය තවත් යුද්ධයකට සුදුසු කාලය නොවන බව හමුදා ප්‍රධානීහු ෆීල්ඩ් මාෂල්ට දැනුම් දුන්හ.

ෆීල්ඩ් මාෂල් අමර්ගේ පිළිතුර වූයේ යුද්ධයකට අවතීර්ණ වීම තම අභිප්‍රාය නොවන අතර මෙය ඊශ්‍රායලයේ තර්ජනය හමුවේ හුදෙක් "ප්‍රදර්ශනයක්" පමණක් බවය.

දින දෙකක් ඇවෑමෙන් ඊජිප්තුව මෙම අර්බුදයේ පතුලට ම ඇද වැටුණි. ඊජිප්තු - ඊශ්‍රායල දේශ සීමාවේ මුර සංචාරය සඳහා යොදවා සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව එතැනින් ඉවත් කරන මෙන් ඊජිප්තුව නියෝග කළේය. එම නියෝගයෙන් සාම සාධක හමුදාව ඉවත් විය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඌ තාන්ට් වහාම ඊජිප්තුවට පැමිණියේ සාම වෑයමක් උදෙසා ය. පළමු වෙඩි උණ්ඩය තමන්ගෙන් පිට නොවනු ඇති බවට ඊජිප්තු ජනාධිපති නාසර් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට ප්‍රතිඥා දුන්නේය.

මෙම ප්‍රතිඥාව ඇමරිකාවට සහ සෝවියට් රුසියාවට ද ජනාධිපති නාසර් විසින් දෙනු ලැබ තිබුණි.

ජෙනරාල් රබින්ගේ දුම් පානය

මේ අතරතුර ඊශ්‍රායලයේ සෑම පුරුෂයෙකුටම හමුදා සේවය අනිවාර්ය කෙරිණි. ගතවූයේ දෙදිනකි. වයස අවුරුදු පනහට අඩු සෑම පිරිමියෙකුම පාහේ හමුදා ඇඳුමින් සැරසී සිටිනු දක්නට හැකි විය.

මෙම තත්වය ඊශ්‍රායලයේ හමුදාපති ජෙනරාල් යිට්ස්හාක් රබින්ට ගෙන දුන්නේ දරාගත නොහැකි පීඩනයකි. හමුදාව කෙතරම් ශක්තිමත් වුවත් යුද්ධයකින් ඊශ්‍රායල් ජනතාව විනාශය කරා ගෙනයන බව ඔහුට ඒත්තු ගොස් තිබුණි.

ජෙනරාල් රබින්ගේ දුම් පානය එන්න එන්නම වැඩි වන්නට පටන් ගත්තේය. එක් දුම් වැටියක් නිම කරන්නේ තවත් දුම් වැටියක් දල්වා ගැනීමෙනි. දිගින් දිගටම කල්පනාවේ නිමග්නව සිටි ඔහු අවසානයේ ස්නායු කම්පනයකින් සිහිසුන්ව ඇද වැටුණි.

විසි හතර පැයක් නින්දට වැටී සිටි ඔහු සුවය ලබා අවදි වී නැවත සේවයට වාර්තා කළේය.

මේ වනවිට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වී උණුසුම සමනය කිරීමට වෙහෙසෙමින් සිටියහ. පළමු වෙඩි උණ්ඩය තමන්ගෙන් පිට නොවන ලෙසට වග බලාගන්නා මෙන් ඇමරිකාව ඊශ්‍රායලයට දැනුම් දී තිබුණි.

අරාබි ලෝකයේ වීරයා බවට පත්වී සිටින ඊජිප්තු ජනාධිපති නාසර් මේවනවිට ඊශ්‍රායලයට එරෙහිව මුළු අරාබිය ම පාහේ පෙළගස්වමින් සිටියේය.

නමුත් ඊජිප්තු ජනාධිපතිවරයා පිළිබඳව ජෝර්දානයේ හුසේන් රජුට වැඩි විශ්වාසයක් නොතිබුණි. තත්ත්වය එසේ වී නමුදු, 1967 මැයි 30 වෙනිදා ජෝර්දානය සහ ඊජිප්තුව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම ජෝර්දානයේ හුසේන් රජුගේ අස්වැසිල්ලට හේතු විය.

Image copyright Getty Images
Image caption 1967 මැයි 30: ජෝර්දාන් - ඊජිප්තු ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු හුසේන් රජු සහ ජනාධිපති නාසර් සතුටින්

මිනී පෙට්ටි

මේ අතරතුර ඊශ්‍රායලය මිනී පෙට්ටි තොග වශයෙන් සුදානම් කළේය. යුදෙව් ආගමික උද්‍යාන 'හදිසි සුසාන භූමි' වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. ලක්ෂ ගණන් ඊශ්‍රායල් ජනතාව රුධිරය දන්දීම සඳහා පෙළ ගැසුණි.

ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කිරීමට තීරණය කළේය. ඊට කැබිනට් අනුමැතිය ලැබුණි. යුද්ධයේ 'පළමු උණ්ඩය' පිට කිරීමට ඊශ්‍රායලය තීරණය කළේය.

ඔවුන්ගේ සැලසුම හිටි හැටියේ අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කිරීමය. පළමු ප්‍රහාරය ඊජිප්තු ගුවන් හමුදාවට එල්ල කිරීමට තීරණය විය.

මෙවැනි යුද්ධයකට ඊශ්‍රායලය වසර ගණනාවක් තිස්සේ පුහුණු වෙමින් සහ සුදානම් වෙමින් සිටියේය. තම සතුරන්ගේ හමුදා කඳවුරු තිබෙන ස්ථාන මැනවින් හඳුනාගෙන තිබුණි. ඒ සඳහා ඔවුන් ගුවනේ සිට තොරතුරු රැස් කරමින් සිටියේ බොහෝ කල් සිට ය. දැන් ඔවුන් සතුරු ඉලක්ක හොඳින් හඳුනාගෙන තිබේ.

ඊට අමතරව අරාබි හමුදාවල ඉහළ නිලධාරීන්ගේ කතා බහට රහසේ සවන් දෙමින් ඔවුන් වෙන් වෙන්ව හඳුනාගෙන හඬ පට රැස් කරගැනීමට ඊශ්‍රායල් ඔත්තු සේවාව සමත් විය. ඊජිප්තුවේ ෆීල්ඩ් මාෂල්ගේ හඬ ද දැන් ඔවුන් හොඳින් හඳුනයි.

1967 ජුනි 05

තත්ත්වය උණුසුම් වූ හෙයින් ෆීල්ඩ් මාෂල් අමර්, ඊජිප්තු හමුදාවේ ඉහළම තරු පළඳින ප්‍රධානීන් හදිසි රැස්වීමකට කැඳවීය. ඔවුහු ඊජිප්තු ගුවන් හමුදා කඳවුරකට රහසිගතව රැස්වීමට කතිකා කර ගත්හ. සාකච්ඡා මේසය වටා අසුන් ගන්නා මොහොතේදී ම ඊශ්‍රායලය සිය ප්‍රථම බෝම්බ ප්‍රහාරය දියත් කළේය.

1967 ජුනි 05වැනිදා යුද්ධයේ ආරම්භය එසේ සනිටුහන් විය.

Image copyright Getty Images
Image caption ඊජිප්තුවේ සියලුම ගුවන් කඳවුරුවලට බෝම්බ පතිත වෙමින් තිබුණි

ඊජිප්තු හමුදා ප්‍රධානීන් රැස්වූ ගුවන් හමුදා කඳවුරට බෝම්බ පතිත වන්නට විය. ෆීල්ඩ් මාෂල් අමර්ගේ යානය ගුවන්ගත කර ගැනීමට හැකි වූ නමුත් එය ගොඩ බෑමට තැනක් සොයා ගැනීමට අසීරු වූයේ ඒ වනවිට ඊජිප්තුවේ සියලුම ගුවන් කඳවුරුවලට බෝම්බ පතිත වෙමින් තිබුණු බැවිනි.

දවස අවසානයේ ජෝර්දානයේ සහ සිරියාවේ ද ගුවන් කඳවුරු බොහෝ ප්‍රමාණයක් විනාශ කර දැමීමට ඊශ්‍රායලයට හැකිවිය. දැන් ගුවන් කලාපය සම්පුර්ණයෙන් ම පවතින්නේ ඊශ්‍රායල් පාලනය යටතේ ය.

Image copyright Empics
Image caption ඊජිප්තු ගුවන් යානා විනාශයට

කිරුළ රැක ගැනීම

ඊශ්‍රායලයේ සැලසුම පරිදි තමන්ගේ ප්‍රහාරය, සතුරාට අනපේක්ෂිත ප්‍රහාරයක් ම විය. දැන් ඔවුන්ට ඉතිරි වී ඇත්තේ ආරම්භ කළ රාජකාරිය නිම කිරීම පමණි.

යුද්ධයට එක් නොවන ලෙස ජෝර්දානයේ හුසේන් රජුට ඊශ්‍රායලය අනතුරු ඇඟවීය. නමුත් එය නොතකා, පෙරළා පහර දෙන ලෙස ජෝර්දාන හමුදාවට හුසේන් රජු නියෝග කළේය.

ඔහුට එසේ කරන්නට සිදු වූයේ තම කිරුළ රැක ගැනීම සඳහාය. එසේ නොකළේ නම් යුද්ධයේ ප්‍රතිඵලය කුමක් වුවත් තමන් සිහසුනෙන් බිමට ඇද දමා වෙනත් අයෙකු රජකරවන්නට අරාබි රාජ්‍යයන් පෙළ ගැසෙන බව හුසේන් රජු දැනගෙන සිටියේය.

ගුවනින් යුද්ධය ආරම්භ කළ ඊශ්‍රායලය තම පාබල හමුදා ඉදිරියට යැවීමට පියවර ගත්තේය.

Image copyright Getty Images
Image caption ගෝලාන් කඳුවැටියේ ක්‍රියාන්විතය

පරාජිතයන්ගේ ප්‍රීති ඝෝෂා

ඊශ්‍රායලය යුද්ධයේ ජයග්‍රහණයට ළඟා වෙමින් සිටියදී ඊජිප්තු ගුවන් විදුලිය නිවේදනය කර සිටියේ තම හමුදා යුද්ධයෙන් ජය ගත් බවකි. ප්‍රීතියෙන් ඉපිල ගිය ඊජිප්තු ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා කරන්නට වූහ.

ඊජිප්තු ජනාධිපති නාසර් සහ ෆීල්ඩ් මාෂල් අමර් තම මන්දිර වෙත ගියෝය.

යුද්ධයෙන් පරාජය වෙමින් සිටින බව නොදැන ජනතාව පිරමිඩ මත නැග සතුටුවන ආකාරය ජනාධිපති නාසර් ට සිය කාමරයේ කවුළුවෙන් මැනවින් දර්ශනය වෙයි.

ඊජිප්තුවේ ගාසා තීරයත් 'සිනායි' කතරත් ඊශ්‍රායලය අතට පත්විය. සිරියාවේ ගෝලාන් කඳුවැටියත් ඔවුහු අත්පත් කර ගත්හ. ජෝර්දානයේ බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම ද ඊශ්‍රායලයේ පාලනයට නතු විය.

Image copyright Getty Images
Image caption ජෝර්දානයට අහිමි වූ බටහිර තීරය; පලස්තීනුවෝ පලා ගියහ. නැතහොත් පලවා හරින ලදී. තවත් පිරිසක් ඝාතනයට ලක් වුහ

ෆීල්ඩ් මාෂල්ගේ අභිරහස් මරණය

එම පෙදෙස්වල සිටි පලස්තීනුවෝ පලා ගියහ. නැතහොත් පලවා හරින ලදී. තවත් පිරිසක් ඝාතනයට ලක් වුහ.

මේ සියල්ල සිදු වූයේ දින හයක් ඇතුළත ය.

ඊජිප්තු ජනාධිපති නාසර් පදවියෙන් ඉල්ලා අස්වූ නමුත් වීදි බට ජනතාවගේ ඉල්ලීම මත ඔහු නැවතත් ජනාධිපති පදවිය භාර ගත්තේය. 1970 දී අවසන් හුස්ම හෙළන තුරුම ඊජිප්තුවේ ජනාධිපතිවරයා වූයේ ගමාල් අබ්දෙල් නාසර් ය.

ෆීල්ඩ් මාෂල් අමර් ගේ මරණය අභිරහසකි. පවුලේ ඥාතීන් පවසන්නේ ඔහුට වස දී මරා දමා ඇති බවකි.

නැගෙනහිර ජෙරුසලම හුසේන් රජුට අහිමි වුවත් ඔහු තම කිරුළ රැක ගත්තේය. ඊශ්‍රායලය සමඟ රහසිගත කතා බහ දිගටම කරගෙන ගිය හුසේන් රජු 1994 දී සාම ගිවිසුමකට අවතීර්ණ විය.

යුද්ධයෙන් පසු

සිරියාවේ ගුවන් හමුදා ප්‍රධානියා වූ හෆෙස් අල් අසාද් 1970 දී එරට පාලනය සියතට ගත්තේ හමුදා කුමන්ත්‍රණයකිනි. අනතුරුව පැවති ජනමත විචාරණයකින් ඔහු ජනාධිපති පදවියට පත්විය. වසර 2000 දී ඔහු මිය ගිය පසු රටේ බලය හිමිවූයේ ඔහුගේ පුත්‍රයාටය. ඔහු වත්මන් ජනපති බෂර් අල් අසාද් ය.

1967 සිදුකළ 'දින හයේ යුද්ධයෙන්' ඊශ්‍රායලය අත්පත් කර ගත් පලස්තීන ප්‍රදේශවල ජනාවාස තැනීම, අඩසියවසකට පසු අදත් සිදුවෙමින් පවතී.

එම යුද්ධයෙන් අරාබිය ලත් අන්ත පරාජය පලස්තීන ජාතික ව්‍යාපාරයේ ආරම්භයට ලබා දුන්නේ ජවයකි. ඊට පෙර පලස්තීන විමුක්ති සංවිධානය පැවතියේ ඊජිප්තු ජනාධිපතිවරයාගේ රූකඩයක් ලෙසිනි.

Image copyright AFP
Image caption දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත

යසර් අර්ෆත් ගේ පිබිදීම

1967න් පසු යසර් අර්ෆත් සහ ෆටා සංවිධානයෙන් බිඳී ආ පාර්ශ්වය එක්වී තමන්ගේ පලස්තීන ප්‍රශ්නය තමන්ගේම දෑතට ගත්තේය. ඊශ්‍රායලය අත්පත් කරගත් පෙදෙස්වලට පැන 'පහර දී පලායන' ගරිල්ලා සටන් කලාව නැවත හිස ඔසවන්නට විය.

1970 දී පලස්තීන ගරිල්ලන්ට එරෙහිව ඊශ්‍රායලය දියත් කළ මෙහෙයුම දරුණු විය. එය වීදි සටන් දක්වා පැතිරිණි. ඊශ්‍රායලයට සොල්දාදුවන් තිස්දෙනෙක් පමණ අහිමි විය.

නමුත් පලස්තීනුවන්ට සිදු වූ හානිය අති මහත් ය. ෆටා සටන්කාමීන් සියයක් පමණ ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් ජාතික වීරයන් සේ සළකමින් මිහිදන් කෙරුණි.

ඒ යසර් අර්ෆත් ගේ පිබිදීමයි.

එම සිද්ධියත් සමඟ යසර් අර්ෆත් 'ජාත්‍යන්තර චරිතයක්' බවට පත්වූයේ පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයා බවට පත්වෙමිනි. පලස්තීනුවන්ගේ විමුක්ති අරගලයේ සංකේතය බවට පත් වූ යසර් අර්ෆත්, ඊශ්‍රායලයට 'ලොව දරුණුම ත්‍රස්තවාදියා' විය.

Image copyright AFP
Image caption ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආශීර්වාදය යටතේ ධවල මන්දිරය ඉදිරිපිට තෘණ භූමිය මත දී අගමැති රබින්, සිය පැරණි සතුරා වූ යසර් අර්ෆත් ට 'අතට අත' දුන්නේය

සතුරාට අතට අත

'දින හයේ යුද්ධය' මෙහෙය වූ එවක ඊශ්‍රායල් හමුදාපති ජෙනරාල් යිට්ස්හාක් රබින්, 70 දශකයේ මැද භාගය වනවිට රටේ අගමැතිවරයා ය. පළමු ධූර කාලයෙන් පසු ඔහු නැවතත් 1992 දී ඊශ්‍රායලයේ අගමැති ධුරයට තේරී පත්වුණි.

1993 දී ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආශීර්වාදය යටතේ ධවල මන්දිරය ඉදිරිපිට තෘණ භූමිය මත දී අගමැති රබින්, සිය පැරණි සතුරා වූ යසර් අර්ෆත් ට 'අතට අත' දුන්නේය.

නමුත් මෙය ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදීන්ට ශුභාරංචියක් නොවීය. ඔවුන්ගේ අදහස වූයේ 'දෙවියන් විසින් තමන්ට ලබා දුන්' භූමියේ පැවැත්මට මෙය අනතුරුදායක බවය.

කෙසේ නමුත් පලස්තීනුවන් සමඟ ඇතිකරගත් ලෝක ප්‍රකට 'ඔස්ලෝ සාම ගිවිසුමට' අත්සන් තැබූ අගමැති රබින් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. එය ඔහුගේ ඉරණම වෙනස් කරන්නට තරම් ප්‍රබල විය.

1995 දී ටෙල් අවිව් නුවරදී, අන්ත ජාතිකවාදී යුදෙව්වෙකුගේ වෙඩි පහරට ලක්වී අගමැති යිට්ස්හාක් රබින් අවසන් ගමන් ගියේය. වෙඩි තැබූ පුද්ගලයා කියා සිටියේ 'යුදෙව්වන් පාවාදුන් නිසා' ඔහුට වෙඩි තැබූ බවය.

Image copyright AFP
Image caption දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත

දරුවන්ගේ දරුවන්ටවත්...

1967 දී සිදු වූ 'දින හයේ යුද්ධයෙන්' පසු පනස් වසරක් ගතවීත්, බොහෝ ඇමරිකානු ජනාධිපතිවරුන් උත්සාහ කළ සේම ඊශ්‍රායලයට සහ පලස්තීනයට සාමය උදා කරලීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද අපේක්‍ෂාවයි.

ඒ සිහිනය සැබෑවීමට නම් කතා කළයුතු වන්නේ දින හයකින් අල්ලාගත් භූමියේ අනාගතය ගැන මිස වෙනත් කිසිවක් නොවේ. මන්ද, එම භූමිය අතහැරීමට දෙපාර්ශ්වයම තවමත් සුදානම් නොවීමය.

දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත. තවමත් එය නිරන්තර ගැටුම් සහිත, මිනිස් ජීවිතයට වටිනාකමක් නොමැති අනාරක්ෂිත කලාපයකි.

'දින හයේ යුද්ධය' ලෝක දේශපාලනයේ අනාගතය වෙනස් කළ සන්ධිස්ථානයකි.

ලෝක බලවතුන්ට මැදපෙරදිග අරගලය වරෙක අභියෝගයකි. වරෙක හිසරදයකි.

(බීබීසී මැදපෙරදිග වාර්තාකරු ජෙරමි බෝවන් ගේ ලිපියක් ඇසුරෙනි.)