හිටපු FBI ප්‍රධානියා ට්‍රම්ප් ගේ ඉල්ලීම හෙළි කරයි

  • 2017 ජුනි 7
Image copyright Reuters

"මම ඔබෙන් පක්ෂපාතීත්වය අපේක්ෂා කරනවා," යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාත්‍රී භෝජනයක් අතරවාරයේ තමන්ට පැවසූ බව FBI ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජේම්ස් කොමී බ්‍රහස්පතින්දා (ජුනි 08) කොන්ග්‍රස් පරීක්ෂණ මණ්ඩලය හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතය.

පදවියෙන් පහකරනු ලැබූ ජාතික ආරක්ෂක උපදේශක මයික් ෆ්ලින් සම්බන්ධ පරීක්ෂණය අත්හැර දමන මෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවටත් පරීක්ෂණ මඩුල්ල හමුවේ ජේම්ස් කොමී ප්‍රකාශකිරීමට නියමිත බව ඔහු ගේ මූලික සාක්ෂි සටහනේ දැක්වේ.

තමන්ට එරෙහිව පරීක්ෂණයක් නොපැවැත්වෙන බවට හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂවරයා එහිදී දැනුම් දුන්නේ යයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ප්‍රකාශය ජේම්ස් කොමී ද තහවුරු කරයි.

කෙසේ නමුත් ජනපතිවරණයට රුසියාව බලපෑමක් කළේද යන්න සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය තමන්ට හිසරදයක් බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් ඔහුගේ සාක්ෂියට ඇතුළත් වනු ඇත.

ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය මැයි මස 09 වෙනි දින ජේම්ස් කොමී පදවියෙන් පහ කළ අතර, ඒ දක්වා ඔහු සමග පැවති හමුවීම් පිළිබඳව හිටපු FBI ප්‍රධානියා රහස් ඔත්තු සේවා සම්බන්ධ සෙනෙට් මණ්ඩලයේ කමිටුව හමුවේ හෙළිදරවු කිරීමට නියමිතය.

පසුගිය ජනවාරි 06 වෙනි දින ජනාධිපතිවරයා මුලින්ම තනිව හමු වූ අවස්ථාවේ ඔහුගේ "සල්ලාල ජීවිතය පිළිබඳව" පැවති "තහවුරු නොකළ" ඇතැම් චෝදනා පිළිබඳව ඔහුට දැනුම් දුන් බවත් ජේම්ස් කොමී පවසයි.

2013 ලෝක රූ රැජින තරගය අවස්ථාවේ මොස්කව් නුවර රිට්ස් කාල්ටන් හෝටලයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගණිකාවන් සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් රුසියාව සතුව පවතින බවට වාර්තා පළ වී තිබිණ.

ජනාධිපති ට්‍රම්ප් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ බව පවසන හිටපු FBI ප්‍රධානියා, ඉන් අනතුරුව පසුගිය ජනවාරි 27 වෙනි දින ඔහු හමු වූ අවස්ථාවේ තවදුරටත් සිය ධුරයේ රැඳී සිටීමට අවශ්‍ය දැයි ජනාධිපතිවරයා විමසූ බවත් කමිටුව හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතය.