ඉන්දියාවේ ගොවි සටන්;ගොවීන් මරා දැමූ බවට පොලිසියට චෝදනා

  • 2017 ජුනි 8
Image copyright PTI
Image caption ගොවීන් තමන්ට පහර දී සිය වාහන ගිනිබත් කළ බව මධ්‍ය ප්‍රදේශ් පොලිසිය පවසයි.

අඟහරුවාදා(ජූනි 06) 'මන්ද්සෝර්' (Mandsaur) දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩ විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටි ගොවීන් පස් දෙනකු මරා දමා ඇත්තේ පොලිස් වෙඩි පහරින් බව ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් විසින් තහවුරු කරනු ලැබ ඇත.

ගැටුම්කාරී තත්වයක් පවතින 'මන්ද්සෝර්' (Mandsaur) දිස්ත්‍රික්කයේ ගොවි ඝාතන සම්බන්ධයෙන් මුලදී චෝදනා කෙරුණේ බලධාරීන් විසින් විග්‍රහ කරන ලද පරිදි 'සමාජ විරෝධී' කණ්ඩායම් වලටයි.

එම ඝාතන සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානියා සහ මහේස්ත්‍රාත්වරයා වැඩ තහනමට ලක් කරනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

ගොවීන් ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ 'ස්වාමිනාදන් කමිටුව' විසින් නිර්දේශ කර ඇති පරිදි සිය කෘෂි නිෂ්පාදන වලට වඩාත් හොඳ මිලක් සහ ගොවි ණය කපා හරින ලෙස ඉල්ලා සිටිමිනි.

Image copyright PTI
Image caption සිය නිෂ්පාදන සඳහා හොඳ මිලක් සහ ණය කපා හරින ලෙස ඉල්ලා උද්ඝෝෂණය කරන ගොවීන්

එම පොලිස් ප්‍රහාරයෙන් අනතුරුව රටපුරා බොහෝ ප්‍රදේශවල ගොවි උද්ඝෝෂණ ආරම්භ වූ අතර අගමැති නරේන්ද්‍ර මෝදි ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බදාදා (ජූනි 07 ) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි.

'මන්ද්සෝර්' (Mandsaur) දිස්ත්‍රික්කයේ මරා දැමුණු ගොවීන්ගේ පවුල්වල සාමාජිකයන් මුණ ගැසීම සඳහා ඉන්දියානු කොන්ග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාහුල් ගාන්ධි එහි ලඟා වීමට ගත් උත්සහයක් පොලිසිය විසින් ව්‍යර්ථ කරන ලද බවක් ඉන්දියාවෙන් ලැබෙන අලුත්ම වාර්තාවකින් පැවසෙයි.

කොංග්‍රස් පක්ෂය මධ්‍ය ප්‍රදේශ් ගොවීන් කුපිත කරන බවට එම ප්‍රාන්තයේ දේශපාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂය (BJP) චෝදනා කරයි.

Image copyright Getty Images
Image caption රාහුල් ගාන්ධිට පොලිසියෙන් බාධා

කෘෂි නිෂ්පාදන සඳහා හොඳ මිලක් ගෙවීමට පියවර ගන්නා අතරම ගොවිණය කපා හැරීමට පියවර ගන්නා බව මේ අතර කොංග්‍රස් පක්ෂය කියා සිටියි.

එහෙත් පෞද්ගලික ජනප්‍රියත්වය සඳහා ඇති ආශාවෙන් පෙළෙන රාහුල් ගාන්ධි ගොවි ගැටලුව මගින් දේශපාලන වාසි ලබා ගැනීමය කටයුතු කරන බවට පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) චෝදනා කරයි.