ස්කොට්ලන්තයේ නිදහස් සිහිනය බොඳ වෙයිද?

  • 2017 ජුනි 9
Image caption SNP හිටපු නායක ඇලෙක්ස් සැමන්ඩ්ට සිය අසුන අහිමි විය.

ස්කොට්ලන්තය බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී නිදහස් රටක් බවට පත්කර ගැනීමේ අරගලයක නිරත ස්කොට්ලන්ත නිදහස් පක්ෂය(SNP ) ඊයේ(ජූනි 08) පැවති මහ මැතිවරණයෙන් විශාල පසුබෑමකට ලක්ව සිටියි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු ආසන අහිමි වූ මන්ත්‍රීවරුන් අතරට එහි හිටපු නායක ඇලෙක්ස් සැමන්ඩ් (Alex Salmond) ඇතුළත් වෙයි.

ස්කොට්ලන්තයේ නිදහස් සටනට කලින් නායකත්වය දුන් SNP හිටපු නායකයා පමණක් නොව එම පක්ෂයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ඇන්ගුස් රොබර්ට්සන්(Angus Robertson) මෙවර පරාජිත ලැයිස්තුවට එක් වෙයි.

2015 මැතිවරණයේ දී දිනා ගත් ආසන වලින් තුනෙන් එකකට වැඩි ආසන සංඛ්‍යාවක් මෙවර ස්කොට්ලන්ත නිදහස් පක්ෂයට (SNP ) අහිමි වී ඇත.

එම ආසන දිනාගනු ලැබ තිබෙන්නේ ස්කොට්ලන්තය බ්‍රිතාන්‍ය පාලනය තුළ රැඳී සිටිය යුතුබව කියා සිටින දේශපාලන පක්ෂ විසිනි.

ස්කොට්ලන්තය නිදහස් රාජ්‍යයක් විය යුතුද ?නැද්ද? යන්න සම්බන්ධයෙන් පැවැත්වූ ජනමත විචාරණයේ දී බ්‍රිතාන්‍යය තුළ දිගටම රැඳී සිටිය යුතුය යන මතවාදය ජයගත් අතර ස්කොට්ලන්ත නිදහස් පක්ෂය(SNP )ඒ සඳහා තවත් ජනමත විමසුමක් ඉල්ලා සිටියි.

එහෙත් 2017ජූනි 08 මැතිවරණ ප්‍රතිපල අනුව එම මතවාදයේ බිඳවැටීමක් පෙන්නුම් කෙරෙන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.