බ්‍රිතාන්‍ය මහ මැතිවරණය: ඉල්ලා අස්වන මෙන් අගමැතිනියට බලපෑම්

  • 2017 ජුනි 9
Image caption ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් එල්ල වුනත් පදවියේ දිගටම රැඳී සිටින බව අගමැතිවරිය කියා සිටියි

බ්‍රහස්පතින්දා (ජුනි 08) පැවැත්වුණු මහ මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂයට මෙතෙක් පැවති බහුතර බලය අහිමිවීමෙන් අනතුරුව පදවියෙන් ඉල්ලා අස්වන මෙන් අගමැතිනි තෙරේසා මේ ට බලපෑම් එල්ලවෙමින් පවතී.

අගමැතිනිය ඉල්ලා අස්විය යුතු බව ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් දැනටමත් ප්‍රකාශ කර ඇති අතර අගමැතිනිය එය ප්‍රතික්ෂේප කරයි.

අගමැතිනිය සිය පදවිය පිළිබඳව "සලකා බැලිය යුතු" බව කොන්සර්වේටිව් පක්ෂයේ ඈන් සෝල්බරි මන්ත්‍රීවරියද කියා සිටියාය.

රටේ ස්ථාවරභාවය පිණිස තවදුරටත් පදවියේ රැඳී සිටින බව අගමැතිනියගේ ස්ථාවරය වී තිබේ.

කෙසේ නමුත් සිකුරාදා දිනය ඇතුළත ඇයට පදවියෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවට ආර්ථික සහ දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.

පසුගිය පාර්ලිමේන්තුවේ දිනාගෙන සිටි බහුතර බලය අහිමි වුවත් වත්මන් පාර්ලිමේන්තුවේ ද වැඩිම ආසන සංඛ්‍යාව දිනාගත් තනි පක්ෂය කොන්සර්වේටිව් පක්ෂයයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොන්සර්වේටිව් පක්ෂයට මේ මැතිවරණයේ දී ආසන 315 ක් හිමි වී තිබෙන අතර ලේබර් පක්ෂය ආසන 261ක් හිමිකරගෙන ඇත.

Image caption ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් මේවනවිට ප්‍රධාන දේශපාලන මාතෘකාව වී ඇත.

මේ තත්වය යටතේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ දැරීමට ඉඩ තිබේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ 'බ්‍රෙක්සිට්' ක්‍රියාදාමය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බව පවසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිනිය පසුගිය අප්‍රියෙල් මාසයේ තීරණය කළාය.

ජනමත සමීක්ෂණ අනුව ඒ අවස්ථාවේ කොන්සර්වේටිව් පක්ෂය ලේබර් පක්ෂයට වඩා ඉතා ඉදිරියෙන් සිටි නමුත් සති කිහිපයක් ඇතුළත එම තත්වය වෙනස් කරගැනීමට ලේබර් පක්ෂය සමත්විය.

ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින්ගේ ඉතා සාර්ථක මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සහ පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය පැවතුන තත්වයේ විශාල වෙනසක් සිදු කිරීමට හේතු වූ බව විචාරකයෝ පෙන්වා දෙති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර