අකිහිතෝ අධිරාජයාට සිහසුන අත් හැරීමට පාර්ලිමේන්තු අනුමැතිය

  • 2017 ජුනි 9
Image copyright AFP
Image caption අකිහිතෝ- වසර දෙසීයක පමණ කාලයක් ඇතුළත සිහසුන හැරයන පළමු ජපන් අධිරාජයා

අකිහිතෝ (Emperor Akihito) අධිරාජයාට සිහසුන අත්හැර දැමීමට ජපන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි.

අධිරාජයාගේ ඉල්ලීමට ජපන් ආණ්ඩුවේ අවසර ලැබී තිබුණ අතර දැන් ඒ සඳහා පාර්ලිමේන්තුවේද පූර්ණ අවසරය ලැබී ඇත.

වසර දෙසීයක පමණ කාලයක් ඇතුළත එරට ඉතිහාසයේ අධිරාජයෙක් සිහසුන අත්හරින පළමු වතාව මෙයයි.

දැනට අසූතුන් වැනි වියේ පසුවන අකිහිතෝ අධිරාජයා පසුගිය වසරේ ප්‍රකාශයක් කරමින් තම වෘද්ධ භාවය සහ පිරිහුණ ශරීර සෞඛ්‍යය සිය නිල රාජකාරි ඉටු කරනු ලැබීමට දුෂ්කර තත්වයක් උදාකර ඇති බව කියා සිටියේය.

එහෙත් රටේ බලපැවැත්වෙන නීතිය අනුව අධිරාජයාට සිය මනාපය පරිදි සිහසුන අත්හළ නොහැක.

එම තත්වය යටතේ අධිරාජයාට සිය තනතුර අත්හැර දැමීමට මග සැලසෙන පරිදි " ඔහුට පමණක් බලපැවැත්වෙන" නව නීතියක් සම්පාදනය කිරීමට ජපන් පාර්ලිමේන්තුව පියවර ගෙන ඇත.

එම නීතිය සඳහා ජපන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකේම අනුමැතිය මේවනවිට ලැබී ඇති හෙයින්, 2018 වසරේ දී අධිරාජයා තනතුරින් විශ්‍රාම ගන්වමින් ඔටුන්න හිමි 'නරුහිතෝ'(Naruhito) කුමරා අනුප්‍රාප්තික අධිරාජයා හැටියට පත් කිරීමේ ක්‍රියාදාමය පෙරට ගෙනයාම ජපන් ආණ්ඩුවට පැවරෙයි.

සිය පියා වූ හිරෝහිතෝ අධිරාජයා 1989 වසරේ මරණයට පත්වීමේ පටන් අකිහිතෝ අධිරාජයා වසර විසිඅටක් රජකම දරන අතර ඔහු හෘද සැත්කමකට ලක්කොට ඇති අතර පුරස්ථි ග්‍රන්ථියේ ආබාධයකින් ද පීඩා විඳියි.

ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිරාජයකුට දේශපාලන ප්‍රකාශන කිරීමට අවසර නැත.

එසේම අධිරාජයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පාලනය කෙරෙන හෙයින් ජපන් අධිරාජයකුට රජකම අත්හැර දමනු ලැබීමට අදාළ ප්‍රකාශයක් පවා සිදු කිරීමත් තහනම් වෙයි.

Image copyright Getty Images
Image caption ඔටුන්න හිමි නරුහිතෝ කුමරු

එවැනි පරිසරයක් තුළ අභිනවයෙන් සම්මත කරන ලද නව නීතිය අනුව අකිහිතෝ අධිරාජයාට රජකම අත්හැර දැමිය හැකි වුනත් ඒ සමඟ සිහසුනට අනුප්‍රාප්ත වෙන නරුහිතෝ කුමරාට එම අයිතිය උරුම නොවෙයි.

අකිහිතෝ අධිරාජයා සිහසුනෙන් සමු ගන්නා දිනය තීන්දු කරනු ලබන්නේ ජපන් ආණ්ඩුව විසිනි.

එහෙත් එම කාර්යය වසර තුනක් ඇතුළත සම්පූර්ණ වියයුතු යයි අභිනවයෙන් සම්මත කරන ලද නීතිය කියා සිටියි.

ඒ අනුව අකිහිතෝ අධිරාජයා සිහසුන අත්හැරීම 2018 වසරේ සිදු වීමට බොහෝදුරට ඉඩකඩ ඇත.