බ්‍රිතාන්‍ය අගමැතිනියගේ අනාගතය කෙබඳු වේද?

  • 2017 ජුනි 10
Image copyright Reuters
Image caption මෙවර මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය සතුව තිබූ බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාව අහිමි විය

බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ සුළුතර ආණ්ඩුවේ අමාත්‍ය ධුර සහ එහි කොන්දේසි සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණීම සඳහා කටයුතු කරමින් සිටී.

බ්‍රහස්පතින්දා (ජුනි 08) පැවති මහ මැතිවරණ ඡන්ද විමසීමෙන් බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට කොන්සර්වේටිව් පක්ෂයේ නායිකා තෙරේසා මේ අසමත් වූ අතර උතුරු අයර්ලන්තය දිගටම බ්‍රිතාන්‍යයේ රැඳී සිටීම වෙනුවෙන් පෙනී සිටින ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂයේ සහාය ඇතිව සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම ඇයගේ අභිප්‍රාය වී තිබේ.

කෙසේ නමුත් ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂයේ සහාය ඇතිව ආණ්ඩුවක් පිහිටුවීම කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිරූපයට හානි දායක විය හැකි බවට එම පක්ෂයේ ඇතැම් සාමාජිකයෝ සැක පළ කරති.

ගබ්සා කිරීම්වලට සහ සමරිසි විවාහවලට විරෝධය දක්වන ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂයේ සමග කටයුතු කිරීමෙන් සිය පක්ෂයේ නූතන ප්‍රතිපත්තිවලට හානි සිදු විය හැකි බවට කොන්සර්වේටිව් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු බිය පළ කරති.

මැතිවරණයෙන් ආසන 318 ක් දිනා ගත් කොන්සර්වේටිව් පක්ෂ නායිකා තෙරේසා මේ ට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂ මන්ත්‍රීවරු 10 දෙනාගේ සහාය අවශ්‍ය වේ.

Image copyright EPA
Image caption මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු අගමැතිනිය ඉල්ලා අස්විය යුතු බව ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් පවසයි

මේ අතර කොන්සර්වේටිව් පක්ෂය තුළ තෙරේසා මේ ගේ අනාගත පැවැත්ම, එම පක්ෂයේ සාමාජිකයන් අතර සංවාදයට බඳුන් වෙමින් පවතී.

හදිසි මැතිවරණයකට ගොස් බහුතර බලය අහිමි වීමත් සමග ඇයට අගමැති ධුරයේ වැඩි කලක් රැඳී සිටීමට නොහැකි වනු ඇති බව ඇතැම් කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයන්ගේ අදහස වී තිබේ.

ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට කොන්සර්වේටිව් පක්ෂය ගත් තීන්දුව මැතිවරණයෙන් ආසන 262 ක් දිනා ගනිමින් සාර්ථකත්වයක් ළඟා කර ගත් ලේබර් පක්ෂයේ ද විවේචනයට ලක් වී තිබේ.

මෙවර මැතිවරණයෙන් වැඩි පුර ආසන 30 ක් දිනා ගැනීමට ජෙරමි කොබින්ගේ නායකත්වයෙන් යුත් ලේබර් පක්ෂයට හැකි විය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 650 කි.

ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂයක් ලබා ගත යුතු අවම මන්ත්‍රී ආසන සංඛ්‍යාව 326 කි.

Image copyright Reuters
Image caption ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගලා මර්කල්

මේ අතර බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත්වීමේ ක්‍රියාවලිය (Brexit) කලින් සැලසුම් කළ පරිදි ඉදිරියට ගෙන යාම සඳහා බාධාවක් නොදකින බව ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගලා මර්කල් පැවසුවාය.

ඒ හා සම්බන්ධ කාලසටහනට අනුව බ්‍රිතාන්‍ය කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව කී ඇය ඒ සඳහා යුරෝපය සූදානම් බව සඳහන් කළාය.

ජුනි 19 වෙනිදා සාකච්ඡා ආරම්භ වීමට නියමිත අතර ඉන් පසු බ්‍රිතාන්‍ය තවදුරටත් සමීප සහකරුවෙකු වශයෙන් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ජර්මනියේ චාන්සලර්වරිය කියා සිටියාය.

අගමැතිනි තෙරේසා මේ ගේ කොන්සර්වේටිව් පක්ෂය සතුව පැවති ආසන 13 ක් ගිලිහීමෙන් අනතුරුව ජර්මනියේ චාන්සලර්වරිය බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් පළ කළ පළමු අවස්ථාව මෙයයි.

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත්වීමේ ක්‍රියාවලිය සඳහා මුහුණ දීමට සිය දෑත් ශක්තිමත් කරන ලෙස අගමැතිනි තෙරේසා මේ සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය පුරා ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර