ත්‍රිකුණාමලයේ සිඟාකන මුව පරපුර

  • 2017 ජුනි 10
Image caption ත්‍රිකුණාමලයේ මුවන් ජීවත් වන්නේ මිනිසුන් සමඟයි

ත්‍රිකුණාමල නගරයේ සංචාරය කරන්නකුගේ නෙත ගැටෙන දසුනක් වන්නේ මිනිසුන් සහ මුවන් එකට ගැවසෙන ආකාරයයි.

විශේෂයෙන්ම ත්‍රිකුණාමල කෝනේශ්වරන් කෝවිල කරා ගමන් ගන්නා පටු මාවත අවට සංචාරකයන් සහ වන්දනාකරුවන් ඒ අවට නිදැල්ලේ හැසිරෙන මුව රංචු මගින් විශාල සතුටක් ලබති.

හින්දු විශ්වාසය අනුව ත්‍රිකුණාමල නගරයේ මුව පරපුර පැවත එන්නේ රාවණා රජු විසින් කොනේශ්වරන් කෝවිලට තෑගි කරන ලද මුව ජෝඩුවකිනි.

නගරයේ පෙඩ්‍රික් කොටුව ඉදි කළ ඕලන්ද ජාතිකයෝ අවට වන ගැබෙහි ගැවසුන මුව රංචුවලට අභයදානය දීමෙන් එම සතුන් බොහෝ කාලයක පටන් මිනිස් වාසයට හුරු වී ඇති බව වනජීවී නිලධාරීන් මෙන්ම වන සතුන් පිළිබඳව අධ්‍යයනය කරන පරිසරවේදීහු පවසති.

ත්‍රිකුණාමල නගරයට යහපත් දසුනක් වී ඇති එම මුව පරපුරේ අතීතය කුමක් වුවත් එම ජීවීන්ගේ වර්තමානය ඉතා කණගාටුදායක එකක් වී ඇති බව පරිසර සංවිධාන රැසක් පෙන්වා දී ඇත.

Image caption ආහාරයක් ඉල්ලමින් මිනිසකු පිටුපස

එම මුවන් අද මුහුණ දී ඇති එක් ගැටළුවක් වී තිබෙන්නේ නගරයේ තමන් ගැවසුණ ස්ථාන හෙළි පෙහෙළි කරමින් නව ගොඩනැගිළි ඉදිකිරීම මගින් සිය වාසස්ථාන අහිමි කිරීමයි.

ත්‍රිකුණාමල මුව පරපුර වැනසී යාමට බලපා ඇති තවත් හේතුවක් වී තිබෙන්නේ පරිසර දූෂණයට අදාළ මිනිස් ක්‍රියාකාරකමකි.

"යුද්ධය හමාරවීමෙන් පසුව දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් ත්‍රිකුණාමලයට එනවා. විදේශීය සංචාරකයන්ගෙන් මේ සතුන්ට කිසිම හිරිහැරයක් නෑ .නමුත් දේශීය සංචාරකයින් විසින් තැන තැන විසිකරන "ලංච් ෂීට්" සහ පොලිතින් ආදිය ආහාරයට ගැනීම නිසා මුවන් විශාල වශයෙන් අසනීපවීමෙන් මරණයට පත්වෙනවා. යුද්ධය පවතිද්දී ත්‍රිකුණාමල නගරයේ මුවන් දාහකට වැඩිය සිටියා.ඒත් අද දෙසීයක්වත් නෑ. තව ටික කාලයකින් මේ සතුන් නගරයෙන් නැත්තටම නැතිවෙලා යාවි" ත්‍රිකුණාමල ගෝණතොට පරිසර සංවිධානයේ සභාපති අනුර බණ්ඩාර පවසයි.

ත්‍රිකුණාමල වනජීවි සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ලලිත් කුමාරගෙන් ඒ පිළිබඳව විමසීමක් කළ විට ඔහු එවැනි විනාශයක් සිදු වෙමින් පවතින බව සනාථ කළේය.

"මරණයට පත්වෙන ඇතැම් මුවන්ගේ ආමාශයේ පොලිතින් කිලෝ තුන හතර තියෙනවා. ඒවා උන්ට දිරවන්නේ නෑ. ඒ නිසා තමයි මිය යන්නේ. මුවන්ට වෙන කන්න දෙයකුත් නැහැ. මේ සතුන්ට සුදුසු පරිසරයකට ඔවුන් බැහැර කිරීම තමයි කළ යුත්තේ .ඒත්භික්ෂූන් වහන්සේලා ඒකට විරුද්ධයි. පොලිතින් විසි කරන්න එපා කියල අපි නගර ය පුරා දැන්වීම් ප්‍රදර්ශනය කරනව. අපේ දේශීය සංචාරකයන් තුට්ටුවකටවත් ඒවා මායිම් කරන්නේ නෑ. මෙහෙම ගියොත් එක මුවෙක්වත් ඉතුරු වෙන එකක් නැහැ"යි වනජීවී නිලධාරියා වැඩි දුරටත් පෙන්වා දෙයි.

Image caption කුසට අහරක් ලද මොහොතක්

ත්‍රිකුණාමල නගරයේ මුවන් මුහුණ දෙන ඊළඟ උවදුර මුවදෙනුන් විසින් බිහි කරනු ලබන පැටවුන් අයාලේ යන සුනඛයන්ගේ ගොදුරු බවට පත් වීමයි.

සුනඛ ප්‍රහාර මුවන්ගේ පැවත්මට බලවත් තර්ජනයක් වී ඇතිබව ත්‍රීකුණාමල ගෝණතොට පරිසර සංවිධානයේ සභාපති අනුරබණ්ඩාර පවසයි.

නගරය තුල නිදැල්ලේ හැසිරෙන මුවන් ඉන් බැහැර කිරීමේ යෝජනාවට පරිසර සංවිධානවලින් ද විරෝධය එල්ල වේ ඇත.

මුවා ත්‍රිකුණාමල නගරයේ සළකුණ බවට පත්කළ යුතු බව පරිසර සංවිධාන කියා සිටිති.

නගරයට අයත් පෙඩ්‍රික් කොටුව අවට කුඩා වනගැබ මුව වාසයට සුදුසු පරිසරයක් ලෙස නිර්මාණය කළ හැකි බව සොබාදහම පරිසර අධ්‍යයන කේන්ද්‍රයේ ලේකම් නීරංග විකමසිංහ පෙන්වා දෙයි.

"ජපන් රටේ 'නික්කෝ' සහ තවත් නගර කීපයකම මා දුටුවා මුවන් සහ වෙනත් වන සතුන් රංචු පිටින් නිදැල්ලේ හැසිරෙන ආකාරය. ඒ සඳහා ඔවුන්ට සුදුසු පරිසරය සකස් කර දී තියෙනවා. මේ ජීවීන්ට අවශ්‍ය වන්නේ ආහාර පාන සහ ආරක්ෂාව පමණයි. ත්‍රිකුණාමල මුවන්ට සුදුසුම තැන පෙඩ්‍රික් කොටුවයි" පරිසරවේදී නීරංග වික්‍රමසිංහ යෝජනා කරයි.

Image caption බූන්දලින් හමු වූ සුදුමුවා

ත්‍රිකුණාමල ට පැමිණෙන සතුන්ට ආදරය කරන ඇතැම් දේශීය සංචාරකය මුවන්ට එළවළු වලින් සංග්‍රහ කරන ආකාරය සිත් ඇදගන්නා දසුනකි.

එළවළු මල්ලක් බිම හෙළන විට ඒ අවට සිටින සිටින මුවන් ආහාර පතා දිව එන ආකාරය අතිශයින් සංවේදී වෙයි.

ත්‍රිකුණාමල නගරයේ නිදැල්ලේ හැසිරෙන මුවන් නිසි අන්දමින් රැක බලා ගනිමින් මුව ගහනය වර්ධනය කිරීමේ වැඩ පිළිවෙළක් තමන් සතුව ඇතත් ඒ සඳහා ආර්ථික ශක්තියක් නැති බව ගෝණතොට පරිසර සංවිධානය පවසයි.

එවැනි විසඳුමක් නොලද පරිසරයක ආහාරයට යමක් ඉල්ලමින් නගරය පුරා ඇවිදින මුවන් අද ත්‍රිකුණාමලයේ සුලබ දසුනක් වී ඇත.