තෙරේසා මේ අගමැති උපදේශකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙති

  • 2017 ජුනි 10
Image caption නික් තිමති සහ ෆියෝනා හිල්

තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ කාර්ය මණ්ඩලයේ ප්‍රබල උපදේශකයන් දෙදෙනෙක් පදවිවලින් ඉවත්ව ගියහ.

ඉවත්ව ගිය අගමැති උපදේශකයන් වන්නේ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියකු වන නික් තිමති (Nick Timothy) සහ එම කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක වන ෆියෝනා හිල් (Fiona Hill) යන දෙදෙනායි.

ඔවුන් එම තීන්දුව ගනු ලැබ තිබෙන්නේ, බ්‍රහස්පතින්දා (ජූනි 08) පැවති මහ මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වීම මුල්කර ගනිමින් උද්ගතව පවතින අර්බුදය මැදයි.

බ්‍රහස්පතින්දා (ජූනි 08) පැවති මහ මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීම මුල්කර ගෙන පක්ෂ අභ්‍යන්තරයෙන්ම ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වෙමින් ඇත.

පදවියෙන් ඉවත්ව යන අගමැති උපදේශක නික් තිමති(Nick Timothy )ප්‍රකාශයක් කරමින් ,කොන්සර්වේටිව් පක්ෂ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී තමන් කළ කාර්යභාරයේ වගකීම භාර ගන්නා බව සඳහන් කළේය.

එහෙත් කොන්සර්වේටිව් මැතිවරණ ප්‍රකාශනය තමා තවමත් අනුමත කරන බවත් ඔහු පවසයි.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ විෂම පරිසරයක් නිර්මාණය කළ බවට අගමැති කාර්ය මණ්ඩල සාමාජිකා ෆියෝනා හිල්(Fiona Hill) පක්ෂ අභ්‍යන්තරයේ දෝෂ දර්ශනයට ලක්වෙයි.

එම උපදේශකයන් දෙදෙනා ඉවත් නොකළොත් තෙරේසා මේ අගමැතිවරියගේ නායකත්වයට අභියෝග කරන බවට කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් අනතුරු අඟවනු ලැබ ඇති බවක් ද වාර්තා විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර