කර්නල් ගඩාෆිගේ පුත්‍රයා "නිදහස්"

  • 2017 ජුනි 11
Image copyright Reuters
Image caption සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි 2011 දී

ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි පොදු සමාවක් යටතේ නිදහස් කර ඇති බව ලිබියාවෙන් වාර්තා වෙයි.

පසුගිය වසර හය පුරා මොහු සිර අඩස්සියේ පසුවූයේ ලිබියාවේ සින්ටාන් ප්‍රදේශයේ අතිරේක හමුදා බල ඇණියක් යටතේ ය.

ලිබියානු මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සයිෆ් අල් ඉස්ලාම් මේවනවිට සිය ඥාතීන් සමඟ ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයේ බයිඩා නගරයේ සිටින බවය.

ලිබියාවේ "අන්තර්වාර රජයේ" ඉල්ලීමක් අනුව තමන් ක්‍රියා කළ බව කර්නල් ගඩාෆිගේ පුත්‍රයා රඳවාගෙන සිටි හමුදා කණ්ඩායම පැවසීය.

මෙම "අන්තර්වාර රජය" ක්‍රියාත්මක වන්නේ ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ය.

Image copyright Reuters
Image caption කර්නල් ගඩාෆිගෙන් පසු ලිබියාවේ නායකත්වයට උරුමකම් කී සයිෆ් අල් ඉස්ලාම්

නමුත් ලිබියාවේ බටහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක වන, එක්සත් ජාතීන්ගේ සහයෝගයෙන් පිහිටුවන ලද ජාතික සම්මුති ආණ්ඩුව විසින් සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆිට මරණ දණ්ඩනය නියම කර තිබේ.

නඩු විභාගය සඳහා ගඩාෆිගේ පුත්‍රයා උසාවියට ගෙනැවිත් නොතිබුණ අතර ඔහු සිර මැදිරියේ සිට අන්තර්ජාලය හරහා නඩු විභාගයට සම්බන්ධ විය.

වසර දෙදහස් එකොළහේ දී තම පියා බලයෙන් පහ කෙරුණු මහජන විප්ලවය සිදු වෙද්දී යුධ අපරාධ සිදු කළ බවට චෝදනා ගොනු කර සායිෆ් අල් ඉස්ලාම්ට නඩු පවරා තිබුණි.

කර්නල් මුවම්මර් ගඩාෆිගේ පාලන සමය තුළ ඉස්මතු වූ ජන නැගිටීම් ව්‍යර්ථ කිරීම සඳහා මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියා සිදු කළ බවට සයිෆ් අල් ඉස්ලාම්ට එල්ල වී ඇති චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ද මොහු අවශ්‍ය වී තිබේ.

මීට පෙර ද සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි නිදහස් කළ බවට වාර්තා පළවූ නමුත් ඒවා සාවද්‍ය බව පසුව වාර්තා විය.

සයිෆ් අල් ඉස්ලාම්:

  • 1972 ජුනි: ලිබියාවේ නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුත්‍රයා ලෙස ට්‍රිපොලි නුවරදී උපත ලබයි.
  • 2011 පෙබරවාරි: කර්නල් ගඩාෆිගේ පාලනයට එරෙහිව ජනතා විරෝධය උත්සන්න වෙයි.
  • 2011 ජුනි: මනුෂ්‍යත්වයට එරෙහිව ක්‍රියාකිරීමේ චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය සයිෆ් අල් ඉස්ලාම්ට එරෙහිව වරෙන්තු නිකුත් කරයි.
  • 2011 අගෝස්තු: ට්‍රිපොලි නුවර රාජ්‍ය විරෝධීන්ගේ අතට පත්වීමෙන් පසු බනී වලීඩ් ප්‍රදේශයට පලායයි.
  • 2011 ඔක්තෝම්බර්: පියා (කර්නල් ගඩාෆි) සහ බාල සොහොයුරා මරා දැමෙයි.
  • 2011 නොවැම්බර් 19: නයිජර් රාජ්‍යයට පලායමින් සිටියදී අතිරේක හමුදා කණ්ඩායමකට හසුවෙයි. සින්ටාන් හි සිරගත කෙරෙයි.
  • 2015 ජූලි: සයිෆ් අල් ඉස්ලාම්ගේ සහභාගිත්වයකින් තොරව පැවති නඩු විභාගයකින් පසු ට්‍රිපොලි නුවර අධිකරණයක් ඔහුට මරණ දඬුවම නියම කරයි.
  • 2017 ජුනි: ලිබියාවේ නැගෙනහිර කලාපයේ ක්‍රියාත්මක ආණ්ඩුව ලබාදුන් පොදු සමාවක් යටතේ සයිෆ් අල් ඉස්ලාම් නිදහස් කළ බවට වාර්තා වෙයි.