බංග්ලාදේශයේ නායයාම්; මරණ හැටකට වැඩියි

  • 2017 ජුනි 13
Image copyright AFP/getty
Image caption පවතින අයහපත් කාලගුණය බේරාගැනීමේ මෙහෙයුම් අඩාල කරයි

බංග්ලාදේශයේ ගිනිකොන කලාපයේ මෝසම් වැසි සමඟ ඇති වූ නායයාම් නිසා මේවනවිට හැටකට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ඩකා අගනුවර නිලධාරීහු පවසති.

මරණයට පත්වූවන් අතර සොල්දාදුවන් පස් දෙනෙකුත් වෙති.

හමුදා භටයන් මරණයට පත්ව ඇත්තේ නාය යාමකින් යටවූ මාර්ගයක් හෙළිපෙහෙළි කරමින් සිටියදී තවත් නාය යාමකට ගොදුරු වීමෙනි.

තවත් අතුරුදහන් වීම් රැසක් චිතගොං (Chittagong Hills )කඳුකර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

Image caption නායයාම් බල පෑ ප්‍රදේශය

චිතගොං පළාතේ දිස්ත්‍රික්ක තුනක කඳු නායගිය බව එම වාර්තා මගින් පැවසෙයි.

පවතින අයහපත් කාලගුණය බේරා ගැනීමේ මෙහෙයුම් වලට බාධාවක් වී ඇත.

බොහෝ ප්‍රදේශවලට ලඟා විය නොහැකි තත්වයක් පවතින බවත් වාර්තා වෙයි.

"විපත බල පෑ බොහෝ ස්ථාන කරා ගමන් කරන්න බැරි තත්වයක් තියෙන්නේ" බංග්ලාදේශ් අපාදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී රියාස් අහමඩ් AFP පුවත් ආයතනයට ප්‍රකාශ කළේය.

රටේ ගිනිකොන කලාපයට අවුරුදු ගණනාවකින් ලද මහවැසි දැන් ඇද වැටෙමින් ඇති බව බංග්ලාදේශ් නිලධාරීහු පවසති.

Image copyright AFP/getty
Image caption වසර ගණනක් තුළ වාර්තා වූ වැඩිම වැස්ස

වැස්ස බල පැවැත්වෙන ප්‍රදේශ සමඟ සන්නිවේදන පහසුකම් ආදියත් ඇනහිට ඇත.