විදෙස් මුදල්: ට්‍රම්ප්ට එරෙහිව කොංග්‍රස් සභිකයෝ නඩු මගට

  • 2017 ජුනි 14
Image copyright Reuters
Image caption වොෂිංටනයේ පිහිටි ට්‍රම්ප් හෝටලය නවාතැන් ගැනීම සඳහා විදෙස් තානාපති නියෝජිතයන්ගේ අවධානයට යොමු කර තිබේ

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ව්‍යාපාරික කටයුතු හරහා විදේශීය රටවල ආණ්ඩුවලින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ කොංග්‍රස් සභිකයන් 200 කට ආසන්න පිරිසක් සැලසුම් කරමින් සිටිති.

කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව විදේශ ආණ්ඩුවලින් ගාස්තු ලබාගත නොහැකි බවට ඇමෙරිකානු ව්‍යවස්ථාවේ පවතින වගන්තිය ජනාධිපති ට්‍රම්ප් විසින් උල්ලංඝනය කරනු ලැබ ඇති බව චෝදනාවල සඳහන් වේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු පැවරීම සඳහා සම්බන්ධ වූ වැඩිම කොංග්‍රස් සභිකයන් පිරිස මෙය බව ද ඔවුහු පවසති.

ඉහත කී චෝදනාව යටතේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට රජයේ නිලධාරීහු සහ වෙනත් ව්‍යාපාරික සමාගම් ද සැලසුම් කරති.

ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන බව මේරිලන්ඩ් ප්‍රාන්තයේ කොළම්බියා දිස්ත්‍රික්කයේ නීතිපතිවරු සඳුදා (ජුනි 12) නිවේදනය කළහ.

එහෙත් ඔවුන් එල්ල කරන චෝදනා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයි.

නීතිපතිවරුන් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීම පිටුපස "පක්ෂග්‍රාහී දේශපාලනය" තිබිය හැකි බව ධවල මන්දිරයේ ප්‍රකාශක ෂෝන් ස්පයිසර් පැවසීය.

නීතිපතිවරුන් විසින් ගෙනෙන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දැක්වීම එරට අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළේය.

"බැඳියාවන් අතර ගැටුමක්"

Image copyright EPA
Image caption ජනාධිපති ට්‍රම්ප් සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් සමග

කෙසේ නමුත් අධිකරණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පෞද්ගලික මට්ටමින් ගන්නා ලද තීන්දු තීරණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවය.

ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සැලසුම් කරමින් සිටින සෙනට් සහ කොංග්‍රස් මණ්ඩල සභිකයන් පවසන්නේ ජනපති ධුරයට පත් වීමෙන් පසු විදෙස් ආණ්ඩුවලින් සිය ව්‍යාපාර වෙත මුදල් අය කර ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා කොංග්‍රසයේ අනුමැතිය පතා නොමැති බවය.

"අවම වශයෙන් රටවල් විසි පහක් සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් කටයුතු කර ඇති ආකාරයේ බැඳියාවන් අතර ගැටුමක් පවතිනවා. ඒ වගේම තමන්ගේ ජනාධිපති බලතල යොදා ගනිමින් ලාභ උපරිම කර ගැනීමට ඔහු කටයුතු කර ඇති බව පෙනෙන්න තිබෙනවා" යනුවෙන් කොංග්‍රස් සභික ජෝන් කොන්යර්ස් පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

"අප මෙවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ හුදෙක් සන්තෝෂය හෝ පක්ෂග්‍රාහීභාවය මත පදනම්ව නොවෙයි. නමුත් ජනාධිපති ට්‍රම්ප් අපට වෙනත් විකල්පයක් ඉතුරු කර නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ට්‍රම්ප් ව්‍යාපාර ජාලය

Image copyright Getty Images
Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බිරිඳ සහ පවුලේ සාමාජිකයන් සමග

හෝටල් සහ නිවාඩු නිකේතන, ගොල්ෆ් පිටි, සුඛෝපභෝගී මහල් නිවාස ඇතුළු ව්‍යාපාර පන්සීයකට අධික සංඛ්‍යාවක් ජනාධිපති ට්‍රම්ප්ගේ ව්‍යාපාර ජාලයට ඇතුලත්ය.

එවැනි ව්‍යාපාර බොහොමයක් සිය සේවය ලබා දෙමින් විදෙස් ආණ්ඩු සමග ගනු දෙනු කර තිබේ.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිය ව්‍යාපාරික කටයුතු සහ වෙනත් දේපළ සම්බන්ධයෙන් එදිනෙදා පාලනය ගෙන යාම සිය වැඩිමහල් පුතුන්ගේ කළමණාකාරීත්වය යටතේ පවතින භාරකාර මණ්ඩලයකට පැවරීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර