ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ 'විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකන් ඇමතිට ඇහුම්කන් දෙන්නේ නැහැ - රජය

  • 2017 ජුනි 14

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විෂය භාර අමාත්‍යවරයාට පවා සවන් නොදී කටයුතු කරන ආකාරය කැබිනට් මණ්ඩලයේ දැඩි විවේචනයට ලක්වූ බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බීබීසී සිංහල සේවය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව කියා සිටි අමාත්‍යවරයා: "ආණ්ඩුවක් ඇතුලේ තවත් ආණ්ඩු තියෙන්න බෑනේ. ඇමතිතුමා කිව්වා ඔහුගේ කිසිදු තීන්දුවක් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා," යනුවෙන් සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියට කැඳවා ඔවුන්ගේ ක්‍රියා කලාපය ගැන කරුණු විමසීමට ඊයේ දින තීරණය වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

දිගින් දිගටම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩුව ඉහළ ගොස් ඇති අතර, විෂය භාර අමාත්‍ය කබීර් හෂීම්ගේ නියෝග පවා නොතකා නව සේවකයන් බඳවා ගෙන් තිබෙන බවත් අමාත්‍ය සේනාරත්න සඳහන් කළේය.

"1250ක් සේවකයන් ඔවුන් අලුතෙන් පත්කර ගෙන තියෙනවා, ඇමතිතුමාගේ කිසිදු අවබෝධයකින් තොරව."

විදේශ ලොතරැයියක් ?

මේ අතර විදේශ අමාත්‍යංශය යටතට ජාතික ලොතරැයි මණ්ඩලය පත්කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ලොතරැයි මණ්ඩලය ඕනෑම අමාත්‍යාංශයක් යටතට පත්කළ හැකි බවය.

"වෙළඳ අමාත්‍යංශයේ තිබුණා ලොතරැයි. දැන් අපි හිතමු විදේශ කටයුතු අමාත්‍යාංශය ගහනවා ලොතරැයියක් ලෝක සිතියම එහෙම දාලා. දැන් තමුන්නාන්සේ කියන්නේ ඒකත් මුදල් අමාත්‍යංශයට දෙන්න කියලද?" යනුවෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙරලා ප්‍රශ්නයක් නැගුවේය.

එම තීරණය සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා පැවති රැස්වීමකදී දැඩි ලෙස විවේචනය කළ අතර, එය විහිළු සහගහ ක්‍රියාවක් බව ඔහු පවසා තිබුණි.

ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පැවසුවේ තමන් එදා පළ කළේ සිය පුද්ගලික මතය බවය.