ට්‍රම්ප් යුක්තියට බාධා කළාද?

Image copyright Getty Images/AFP
Image caption රුසියාව සමඟ කිසිදු දුස්සන්ධානයක් නොතිබුණු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කරයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'යුක්තියට' බාධාකර තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදුකෙරෙමින් තිබෙන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ගේ වාර්තා සඳහා කරන්නේ, පසුගිය ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවීම සඳහා රුසියාවේ මැදිහත්වීමක් සිදු වූයේදැයි සොයා බැලීම සඳහා පත්කර ඇති විශේෂ විමර්ශන කමිටුව විසින් ම මෙම විමර්ශනය ද සිදුකෙරෙන බවය.

ජාතික ආරක්‍ෂක උපදේශකවරයා තනතුරින් පහ කිරීම සම්බන්ධයෙන් පවතින විමර්ශන නතර කිරීමට ජනාධිපති ට්‍රම්ප් උත්සහ කළේදැයි සොයා බැලීම සඳහා කෙරෙන විමර්ශනයට ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරීන්ගෙන් තොරතුරු විමසනු ඇති බව ද ඇමරිකානු මාධ්‍ය සඳහන් කර ඇත.

"දඩයමක්"

මෙම විමර්ශන කටයුතු පිළිබඳව මාධ්‍යයට කරුණු අනාවරණය වීම අනුමත කළ නොහැකි බව ජනාධිපති ට්‍රම්ප් ගේ නීතිවේදීහු පවසති.

රුසියාව සමඟ කිසිදු දුස්සන්ධානයක් නොතිබුණු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කරන අතර ඒ පිළිබඳව පවතින විමර්ශනය ඔහු විසින් හඳුන්වනු ලබන්නේ "දඩයමක්" ලෙසිනි.

Image copyright Getty Images
Image caption "දැවැන්තම දඩයමට මුහුණ දෙමින් සිටිනවා"

ඇමෙරිකානු ඉතිහාසයේ දේශපාලන නායකයෙකුට එරෙහිව දියත් වූ දැවැන්තම දඩයමට තමන් මුහුණ දෙමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

පසුගිය ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවීම සඳහා රුසියාවේ මැදිහත්වීමක් සිදු වූයේදැයි සොයා බැලීම සඳහා පැවැත්වෙන විමර්ශන වෙනතකට යොමු වෙමින් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව සොයා බැලීමට නැඹුරුවීම ප්‍රධාන හැරවුම් ලක්‍ෂයක් වනු ඇති බවට 'වොෂිංටන් පෝස්ට්' පුවත්පත සඳහන් කරයි.

FBI

Image copyright Reuters
Image caption FBI අධ්‍යක්‍ෂවරයා වූ ජේම්ස් කෝමි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සේවයෙන් පහ කළේය.

ජනාධිපතිවරයා විසින් එම තීන්දුව ගනු ලැබ ඇත්තේ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ විද්‍යුත් තැපැල් පිළිබඳව FBI අධ්‍යක්‍ෂවරයා වූ ජේම්ස් කෝමි, කොංග්‍රස් මණ්ඩලය වෙත නිවැරදි නොවන තොරතුරු ලබා දී ඇතැයි හෙළි වීමත් සමගය.

නමුත් ඩිමොක්‍රටික් පක්ෂය පවසන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය හා රුසියාව අතර තිබූ බව පැවසෙන සබඳතා සම්බන්ධයෙන් FBI ආයතනය විසින් ගෙන යනු ලැබූ පරීක්ෂණ අධ්‍යක්‍ෂවරයා සේවයෙන් පහ කිරීමට හේතු වී ඇති බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර