ලන්ඩන් ශ්‍රී ලාංකිකයෙක් ඝාතනය: දීර්ඝ සිරදඬුවමක්

ප්‍රශාද් සෝතලිංගම් Image copyright Merton POLICE

දෙමළ මැර කණ්ඩායම් දෙකක් අතර මීට දෙවසරකට ඉහතදී හටගත් ප්‍රචණ්ඩ ගැටුමකදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු දෙමළ ජාතිකයෙකුට ලන්ඩනයේ අධිකරණයක් සිරදඬුවම් නියම කළේය.

2015 නොවැම්බර් 23 වැනි දින සවස් යාමයේ 26 හැවිරිදි නීල් කෲස් (Neal Croos) පොරවකින් කොටා ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු ප්‍රශාද් සෝතලිංගම්ට (Prashad Sothalingham) 29 අවුරුදු සිරදඬුවමක් නියම කෙරිණ.

ලන්ඩනයේ මිචැම් ප්‍රදේශයේදී එකම මැර කණ්ඩායමක දෙපාර්ශවයක් අතර හටගත් ප්‍රචණ්ඩ ගැටුමකදී ජයතාපන් ඥානස්ලෝගන් ට (Jeyathaapan Ganasliongan) බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාවටද 26 හැවිරිදි චුදිත ප්‍රශාද් සෝතලිංගම් වැරදිකරු බව අධිකරණයේ තීන්දුව විය.

ශ්‍රී ලාංකිකයෙක්

ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියකු බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ ප්‍රකාශකයෙක්, ඔහු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයකු දැයි මේ මොහොතේ නිශ්චිතව සඳහන් කළ නොහැකි බවත් පැවසීය.

මේ අතර එම ගැටුමේදී රාජේන්ද්‍රන් මහින්දාස්කරන්ට (Rajendren Mahindaskaran) බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් 33 හැවිරිදි සුගන් සෙල්වරාජන් (Sugan Selvarajan) වැරදිකරු බව තීන්දු කළ ඕල්ඩ් බේලි අධිකරණය, ප්‍රචණ්ඩ හැසිරීමේ චෝදනාව සම්බන්ධයෙන් 19 හැවිරිදි සිවාකරන් ඕකර්ස් (Sivakaran Ockersz) වැරදිකරු බවත් නිගමණය කළේය.

Image copyright Merton Police

ප්‍රචණ්ඩ හැසිරීමේ චෝදනාවට 24 හැවිරිදි විසුපරදන් දයාපරන් ද (Visuparathan Dayaparan) ප්‍රචණ්ඩ හැසිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරිණ.

රාජේන්ද්‍රන් මහින්දාස්කරන් සහ විසුපරදන් දයාපරන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවට නිවැරදිකරුවන බව මීට ඉහතදී අධිකරණය තීන්දු කර තිබෙන බවත් මර්ටන් පොලිසිය නිකුත් කළ ෆේස්බුක් නිවේදනයක් සඳහන් වේ.

පොරවක්, කඩුවක් සහ බෝතල් මැර කණ්ඩායම් දෙකේ ගැටුම සඳහා යෝදාගෙන් තිබුණු බව පොලිසිය පවසයි.

ගැටුමෙන් මිය ගිය නීල් කෲස් ගේ මිතුරෙකු ද බරපතල තුවාල ලැබූ නමුත් අත්වලින් සිය හිස ආවරණය කරගැනීම හේතුවෙන් ඔහු දිවි බේරාගත් බවත් පොලිසිය පවසයි.

ගැටුමේදී ඔහුගේ ඇඟිලි කිහිපයක් කැපී ගිය නමුත් රෝහලේදී සැත්කමකින් අනතුරුව යළිත් එම ඇඟිලි සවි කොට තිබේ.

ගැටුමේදී තවත් දෙදෙනෙක්ද තුවාල ලැබූහ.