ලන්ඩන් ගින්න: "ඇතැමුන් හඳුනාගත නොහැකි වේවි"

Image copyright GETTY/GOOGLE

ලන්ඩන් නුවර තට්ටු නිවාස ගොඩනැගිල්ලේ හටගත් ගින්නට ගොදුරුවී මිය ගිය ඇතැමුන්ගේ වගතුග සොයා ගැනීමට අපොහොසත් විය හැකි බවට ලන්ඩන් පොලිසිය අනතුරු අඟවයි.

ගින්නට හසුවී මියගිය පුද්ගලයන්ගේ ගණන 30 දක්වා ඉහළ ගොස් ඇති බවට දැනට නිල වශයෙන් නිකුත් වී ඇති වාර්තා සඳහන් කරයි.

මේවනවිට 76 දෙනෙකු පමණ අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට බීබීසීයට දැනගන්නට ලැබී තිබේ.

රෝහල්ගත කර සිටින පිරිසගෙන් එක් අයෙකු මිය ගිය බව ද ලන්ඩන් පොලිසිය නිවේදනය කළේය.

එලිසබත් රැජින සහ විලියම් කුමරු

Image copyright PA

මේ අතරතුර 'ග්‍රෙන්ෆෙල්' (Grenfell Tower) ගොඩනැගිල්ලේ වාසය කළ පිරිස වෙනුවෙන් පවත්වාගෙන යන සහන මධ්‍යස්ථානයට එලිසබත් රැජින සහ විලියම් කුමරු පැමිණ සිටියහ.

ගිනි නිවන භටයන් දැක්වූ "නිර්භීත භාවය" සහ ස්වේච්ඡා සහන සේවකයන්ගේ "පරිත්‍යාගශීලී භාවය" බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ප්‍රශංසාවට ලක් විය.

බටහිර ලන්ඩනයේ කෙන්සිංටන් හි පිහිටි 'ග්‍රෙන්ෆෙල් ටවර්' (Grenfell Tower) ගොඩනැගිල්ලේ ගින්න හටගත්තේ පසුගිය බදාදා (ජුනි 14) අලුයම 1.00ට පමණ ය.

දැවී ගිය ගොඩනැගිල්ල තුළ තවත් මළ සිරුරු වේදැයි සොයමින් තවමත් හදිසි ආපදා සේවා ක්‍රියාත්මක වෙමින් පවතින නමුත් පණ බේරාගත් කිසිවෙකු ගොඩනැගිල්ල තුළ තවමත් සිරවී සිටිතැයි අපේක්‍ෂා නොකරන බව ගිනි නිවන හමුදාවේ ප්‍රධානියා පැවසීය.

හිතාමතා?

මෙම ගින්න හිතාමතා ඇතිකළ එකක් බවට සැක කිරීම සඳහා කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් නොමැති බව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ අණදෙන නිලධාරී ස්ටුවර්ට් කන්ඩි ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ලන්ඩන් නුවර 'ග්‍රෙන්ෆෙල්' තට්ටු නිවාස ගින්න සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පවත්වන මෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ (Theresa May) නියෝග කළාය.

විනිශ්චයකරුවෙකුගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය පැවැත්වෙන බවත් ඇය සඳහන් කළාය.

අගමැතිවරිය විසින් එම පියවර ගන්නා ලද්දේ එවැනි තවත් විපත් සිදුවිය හැකි බවට මහජන කෝපය පළ වෙමින් පවතින අතරය.

ගිනි නිවන හමුදාව විසින් මේවන විට තට්ටු නිවාසයේ සෑම තට්ටුවකම මූලික නිරීක්ෂණයක් සිදු කර තිබේ. එහෙත් ගිනි ගත ගොඩනැගිල්ලේ පූර්ණ නිරීක්ෂණයක් කිරීම "ඉතා දුෂ්කර සහ කල් ගතවන" ක්‍රියාවක් බව බලධාරීහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර