ඇමෙරිකාවේ කියුබා පිළිවෙත ආපසු ගමනේ

Image copyright Getty Images
Image caption ඔබාමා සහ ට්‍රම්ප් කියුබාව සම්බන්ධයෙන් ස්ථාවර දෙකක.

බරක් ඔබාමා පරිපාලනය විසින් ළිහිල් කරන ලද වෙළෙඳ සහ සංචාරක තහංචි යළි ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීන්දු කරනු ලැබීම කියුබානු ආණ්ඩුවේ හෙළා දැකීමට ලක්වෙයි.

ජනාධිපති ට්‍රම්ප් කියුබාවට එරෙහිව ඇතැම් සම්බාධක යළි පනවන බව ප්‍රකාශයට පත් කරන ලද්දේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙසෙන කියුබානු සම්භවයක් සහිත ඇමෙරිකානුවන් අමතා අදහස් දක්වමිනි.

කියුබාවේ මානව හිමිකම් තත්වය සැලකිල්ලට ගනිමින් තමා එම පියවර ගන්නා බව පවසමින් ජනාධිපති ට්‍රම්ප් සිය තීරණය යුක්ති සහගත කිරීමක් ද සිදු කළේය.

කියුබාවට එරෙහිව බල පැවැත්වුන ඇතැම් සම්බාධක ඉවත් කිරීමට ඔබාමා පරිපාලනය ගත් පියවර ජනාධිපති ට්‍රම්ප් විසින් විග්‍රහ කරන ලද්දේ "සහමුලින්ම ඒක පාර්ශවීය ගිවිසුමක්" ලෙස හඳුන්වා දෙමිනි.

එහෙත් ඔහු කියුබාව සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ වාණිජ සබඳතා අත්හැර නොදමයි.

ඇමෙරිකාවේ නව ස්ථාවරය සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාරය පළකළ 'හවානා' පාලනය මානව හිමිකම් සම්බන්ධයෙන් කියුබාව අමතා "දේශන පැවැත්විය හැකි තත්වයක ඇමෙරිකා එක්සත් ජනපදය නොසිටින" බව පෙන්වා දුන්නේය.

Image caption ජනාධිපති ඔබාමා කියුබානු නායක රාවුල් කස්ත්‍රෝ සමඟ

ජනාධිපති ට්‍රම්ප් විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් දෝෂ දර්ශනයට ලක් කරන අතරවාරයේ තව දුරටත් අදහස් අදක්වන කියුබානු ආණ්ඩුව "සහයෝගීතාවය සහ ගෞරවාන්විත සංවාදයක්" සඳහා ඇති සිය අභිලාෂය අවධාරණය කරයි.

සියරටේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කෙරෙන එසේත් නැත්නම් සිය දේශපාලන සහ ආර්ථික ක්‍රමයේ වෙනස්කම් සඳහා සිදු කෙරෙන බලපෑම් පරාජයෙන් කෙළවර වන බවත් හවානා පාලනය කියා සිටී.

ඇමෙරිකාව කාලාන්තරයක් තිස්සේ හවානාහි කස්ත්‍රෝ පාලනයට එරෙහිව පවත්වා ගෙනගිය සම්බාධක අතරින් වෙළෙඳ සහ සංචාරක තහංචි පමණක් ළිහිල් කිරීමට පියවර ගත් ජනාධිපති බරක් ඔබාමා, දෙරට අතර සබඳතා කුළුපග තත්වයකට ගෙන ඒමට මුලපුරමින් කියුබාවේ සංචාරයක ද නිරත විය.