ලංඩන් ගින්න;රැජින සංතාපය පළ කරයි

Image caption එලිසබත් රැජින ගින්නෙන් දිවි බේරුණ ජනතාව හමුවේ

පිටපිටම එල්ල වෙමින් ඇති ඛේදජනක සිදුවීම් හමුවේ එක්සත් රාජධානිය මුහුණ දී ඇති කණගාටුදායක තත්වයෙන් මිදීමේ දුෂ්කර තත්වයක් උදා වී ඇති බව එලිසබත් රැජින පවසයි.

සිය නිල උපන් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන දෙවන එලිසබත් බ්‍රිතාන්‍ය රැජින, ලංඩන් සහ මැන්චෙස්ටර් ප්‍රහාර වලින් අනතුරුව පසුගිය සතියේ ලංඩන් 'කෙන්සිංටන් චෙල්සී' කලාපයේ 'ග්‍රෙන්ෆෙල්' තට්ටු නිවාස සංකීර්ණය (Grenfell Tower) විනාශකාරී ගින්නකට ගොදුරු වීමෙන් අත් වූ විපත හමුවේ රට අධිෂ්ඨාන පූර්වකව සිටින බවත් කියා සිටින්නීය.

දැවී ගිය 'ග්‍රෙන්ෆෙල්' තට්ටු නිවාස සංකීර්ණය කඩා වැටීමට හේතුවිය හැකැයි සලකමින් ඒ අසළින් දිවෙන ලංඩන් උමං දුම්රිය මාර්ග දෙකක දුම්රිය එම කලාපය ඔස්සේ ධාවනය කිරීම නතර කරනු ලැබ ඇත.

Image caption ගින්නෙන් විනාශ වූ නෑසියන් අසල්වැසියන් වෙනුවන් ඉටිපහන් දල්වන ජනතාව

'ග්‍රෙන්ෆෙල්' තට්ටු නිවාසය තුළ මෙතෙක් සිදු කරන ලද සෝදිසි කිරීම් අනුව මරණ තිහක් තහවුරු කරනු ලැබ ඇත.

එවැනි ගිනි ගැනීම් වැළැක්වීමට අදාළ පූර්ව පියවර නොගැනීම සම්බන්ධයෙන් 'කෙන්සිංටන් චෙල්සී' නාගරික සභාව මෙන්ම ආණ්ඩුවත් මහජන දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ(Theresa May )ඊයේ සිකුරාදා දැවී ගිය 'ග්‍රෙන්ෆෙල්' තට්ටු නිවාස සංකීර්ණය අසල සංචාරයක නිරත වූ අතර අගමැතිවරිය එම අවස්ථාවේ මහජන විවේචන වලට ලක්වූවාය.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඇමතිවරයකු වන ඩේමියන් ග්‍රීන් (Damian Green) ගින්නෙන් අත්වූ විනාශය පිළිබඳව අගමැතිවරිය දැඩි කැළඹුන මානසිකත්වයක සිටින බව සඳහන් කළේය.

Image copyright PA
Image caption ගින්නෙන් අනතුරුව දැන් ගොඩනැගිල්ල පෙනෙන හැටි -ඇතුලේ ගිනි නිවන භටයෝ සෝදිසි කිරීමේ නිරතව

එම ගින්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අගමැතිවරිය ප්‍රකාශ කරයි.