උසේන් බෝල්ට් පාපන්දු ක්‍රීඩාවටත්

Image copyright Getty Images
Image caption ලොව මෙතෙක් බිහිවූ හොඳම මලල ක්‍රීඩකයා වශයෙන් හැඳින්වෙන උසේන් බෝල්ට්

පාපන්දු ක්‍රීඩාවට එක්වන උසේන් බෝල්ට් නාමය, 'ලොව උසම අට වියැති දරුවා' සහ පවුලේ පළමු පිරිමි දරුවා සතු විශේෂත්වයක් පිළිබඳව මේ කරුණු ඔබ දැන සිටියාද?

උසේන් බෝල්ට් පාපන්දු ක්‍රීඩාවේ

ලොව මෙතෙක් බිහිවූ හොඳම මලල ක්‍රීඩකයා වශයෙන් හැඳින්වෙන උසේන් බෝල්ට් පාපන්දු 'වීඩියෝ ක්‍රීඩාවක්' වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය.

'Pro Evolution Soccer 2018' නමින් හැඳින්වෙන මෙම වීඩියෝ ක්‍රීඩාවට (Video Game) පෙනී සිටීමට ලැබීම ගැන උසේන් බෝල්ට් සිය සතුට පළ කළේය.

ජැමෙයිකානු ජාතික කෙටිදුර ධාවන ශූර උසේන්ගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩා සමාජය 'මැන්චෙස්ටර් යුනයිටඩ්' ය.

වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙකු වීමට තමන් තුළ මහත් ආශාවක් පවතින බව ඔහු කිහිප වතාවක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

උසේන් බෝල්ට් විසින් ඔලිම්පික් රන් පදක්කම් අටක් දිනා ගනු ලැබ තිබේ.

'ලොව උසම අට වියැති දරුවා'

Image copyright Getty Images
Image caption උපදින විට ඔහු කිලෝ ග්‍රෑම් 7.8ක් බරැති සහ සෙන්ටිමීටර් 63ක් උසැති බිළිඳෙක් විය

ඉන්දියාවේ කරන් සිං ගේ නම ගිනස් පොතට ඇතුල් වුනේ ඔහුගේ උපතත් සමඟම ය.

ලොව බරින් වැඩිම සහ උසින් වැඩිම බිළිඳා ලෙස ගිනස් පොතට ඇතුළත් වූයේ ඔහු ය. උපදින විට ඔහු කිලෝ ග්‍රෑම් 7.8ක් බරැති සහ සෙන්ටිමීටර් 63ක් උසැති බිළිඳෙක් විය.

දැන් ඔහුගේ වයස අවුරුදු අටකි. උස අඩි 6 අඟල් 6 කි. සම වයසේ පාසල් මිතුරන් මෙන් දෙගුණයක් උසැති කරන්ගේ නම නැවතත් ගිනස් පොතට ඇතුළත් විය හැකි බවට ඔහුගේ දෙමාපියෝ විශ්වාස කරති.

කරන්ගේ පියා ද අඩි 6 අඟල් 6ක් උසැති ය. නමුත් පවුලේ උසම සාමාජිකයා කරන් හෝ කරන්ගේ පියා නොවේ.

අඩි 7 අඟල් 2ක් උසැති කරන්ගේ මව ඉන්දියාවේ උසම කාන්තාව වශයෙන් වාර්තාගත වී සිටින්නීය. ඇය ඉන්දියාවේ ජාතික පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක් වුවාය. දැන් ඇය වයස අවුරුදු 33ක මවකි.

කරන් සහ ඔහුගේ මව මෙතරම් උස යාමට පාදක වූ හෝමෝන ක්‍රියාකාරිත්වය ඔවුන්ගේ සිරුර තුළ ඇතිවීමට හේතුව තවමත් පැහැදිලි නැත.

පවුලේ පළමු පිරිමි දරුවා

පවුලේ පළමු පිරිමි දරුවන්, කළමනාකාර ක්ෂේත්‍රයේ ඉහළ තනතුරකට යෑමේ සම්භාවිතාව 24%කින් වැඩි බව ජර්මනියේ සිදු කළ නවතම පර්යේෂණයකින් හෙළිදරව් වී තිබේ.

පළමු දරුවාට පසුව උපදින බාල දරුවන් බොහෝ විට ස්වයං රැකියාවල නිරත වීමට පෙළඹෙන බවද එම පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙයි.