අනතුරට පත් යුද නෞකාව: ඇමරිකානු නාවිකයන්ගේ මළ සිරුරු හමුවේ

  • 2017 ජුනි 18
Image copyright Reuters
Image caption "ඇමරිකානු නාවිකයන්ගේ නිදන කුටි තුළට ජලය"

ජපානයේ නැගෙනහිර මුහුදු සීමාවෙන් ඔබ්බේ දී අනතුරට පත් ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාවේ සිටි නාවිකයන් කිහිප දෙනෙකු මරණයට පත්වී ඇති බව ඇමරිකානු නාවික හමුදාව සහ ජපන් මාධ්‍ය පවසයි.

මෙම අනතුර සිදුවීමෙන් පසුව ඇමරිකානු නාවික හමුදා බලධාරීන් කියා සිටියේ නාවිකයන් හත්දෙනෙකු අතුරුදහන් වී ඇති බවය.

අනතුර සිදු වීමත් සමඟ නෞකාව තුළට තවත් ජලය ගලා ඒම වළක්වා ලමින් එහි කාර්ය මණ්ඩලය විසින් වසා දමනු ලැබ ඇති කොටස්වල සිය නාවික හමුදා භටයන් රැඳී සිටීමේ ඉඩකඩක් පවතින බව ඔවුන් ඊයේ ප්‍රකාශ කර තිබුණි.

Image caption අනතුරට ලක් වූ 'USS Fitzgerald' ඇමෙරිකානු යුද නැව

නෞකාවේ හානියට පත් කොටසට අද සහන සේවකයන් ඇතුළුවී ඇති අතර අතුරුදහන්ව සිටි නාවිකයන්ගේ මළ සිරුරු ඔවුනට හමුවී තිබේ.

නමුත් කොපමණ මළ සිරුරු ප්‍රමාණයක් සොයාගෙන තිබේද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නොමැත.

ජපානයේ NHK රූපවාහිනී සේවය වාර්තා කළේ නෞකා දෙක ගැටීමෙන් අනතුරුව ඇමරිකානු නාවිකයන්ගේ නිදන කුටි තුළට ජලය කාන්දුවී ඇති බවය.

අනතුරට ලක් වූ 'USS Fitzgerald' ඇමෙරිකානු යුද නැවේ අණදෙන නිලධාරියා සහ තවත් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබ සිටි අතර ඔවුන් ජපානයට අයත් හෙලිකොප්ටර් යානයක් මගින් බේරා ගනිමින් රැගෙන ගොස් ඇත.

Image caption අතුරුදහන් වූ නැවියන් සත්දෙනා සෙවීමේ මෙහෙයුම

එම යුද නැව සමඟ ගැටුණ මීටර් 220 ක් දිග භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන නෞකාව යාත්‍රා කරමින් තිබුණේ පිලිපීන කොඩිය සහිතවයි.

ගැටුමේදී එම කන්ටේනර් නෞකාවට වැඩි අලාභ හානි සිදුව නැති බවත් වාර්තා වෙයි.

අනතුරට පත් ඇමෙරිකානු යුද නැව වෙනත් නැවක ආධාරයෙන් ජපානයේ දකුණුදිග ප්‍රදේශයේ වරායකට ඊයේ ගෙන ගියේය.

Image copyright EPA
Image caption බේරා ගැනීමේ මෙහෙයුම්
Image copyright EPA
Image caption යුද නැව සමඟ ගැටුණ මීටර් 220 ක් දිග භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන නෞකාව
Image copyright KYODO VIA REUTERS
Image caption කන්ටේනර් නෞකාවට වැඩි අලාභ හානි සිදුව නැත
Image copyright AFP/GETTY IMAGES
Image caption අනතුරට ලක් වූ 'USS Fitzgerald' ඇමෙරිකානු යුද නැව
Image copyright AFP/GETTY IMAGES
Image caption බේරා ගැනීමේ මෙහෙයුම්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර