ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක්

තවත් වෑන් රිය ප්‍රහාරයක් Image copyright PA

සියලු ආකාරයේ අන්තවාදී සහ ත්‍රස්ත ක්‍රියා මැඩලීමට ආණ්ඩුව තරයේ අධිෂ්ඨාන සහගතව සිටින බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ අවධාරණය කරයි.

අගමැතිවරිය එම ප්‍රකාශය කළේ ලංඩන් අගනුවර ෆින්ස්බරි කලාපයේ දී මුස්ලිම් ජනයා යට කරමින් වෑන් රථයක් පදවා එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමිනි.

උතුරු ලන්ඩනයේ 'ෆින්ස්බරි' මුස්ලිම් දේවස්ථානය අසළදී පදිකයන් මත වෑන් රිය කඩාවැදීම හේතුවෙන් එක් අයෙකු මරණයට පත්ව තවත් අට දෙනෙකුට තුවාල සිදුවිය.

ඊයේ (ජුනි 18) මධ්‍යම රාත්‍රිය ඉකුත්ව යද්දී, 'ෆින්ස්බරි පාක්' මුස්ලිම් දේවස්ථානය අසළ දී එම ප්‍රහාරය එල්ල කෙරුණ අතර වෑන් රියේ රියැදුරා වූ 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එය මුස්ලිම් ජනයා ඉලක්ක කරගත් ප්‍රහාරයක් බව ලංඩන් නාගරික පොලිස්පතිනි ක්‍රෙසිඩා ඩික් (Cressida Dick) ප්‍රකාශ කළාය.


Image copyright AFP

සිද්ධියට මුහුණ පෑ බොහෝ දෙනා රාමදාන් උපවාසය නිමකොට සන්ධ්‍යා යාඥාවෙන් පසු ආපසු නිවෙස් බලා යමින් සිටි බව පැවසේ.

ත්‍රස්ත මර්දන නිලධාරීන් එම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ලන්ඩන් නාගරික පොලිසිය පවසන අතර බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සලය කියාසිටියේ "වෑන් රිය හිතා මතාම බැතිමතුන් යටකළ" බවයි.

"ඉස්ලාමය කෙරෙහි ඇති භීතිකාව පෙන්වන ප්‍රචණ්ඩ ක්‍රියාවක්" ලෙසත් එම ප්‍රහාරය හඳුන්වාදුන් බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සලය, මුස්ලිම් දේවස්ථාන අසලට අමතර ආරක්ෂාව යොදවන ලෙස ඉල්ලා සිටියි.

උද්ගත වී ඇති තත්වය හමුවේ මුස්ලිම් දේවස්ථාන අවට පොලිස් ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා බව ලංඩන් පුරපති සදික් ඛාන් පවසයි.

Image copyright Reuters

වෑන් රියේ රියැදුරා පොලිස් අත්අඩංගුවට පත්වුණේ, මහජනතාව විසින් ඔහුව රඳවා ගනු ලැබීමෙන් අනතුරුවය.

Image copyright Reuters

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර