ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්: ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පිටුපසින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම Image copyright AP

අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නවතම එක් දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටීමට බංග්ලාදේශය සමත් වී සිටී.

බ්‍රිතාන්‍යයේ පැවැත්වුණ චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ජයග්‍රහණය අත්කරගත් පාකිස්තානය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පරයමින් ඉදිරියට පැමිණ හය වෙනි ස්ථානයට පත් වී සිටින අතර ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ අට වෙනි ස්ථානයය.

ඒ සමගම 2019 පැවැත්වීමට නියමිත ක්‍රිකට් ජගත් කුසලානය සඳහා පාකිස්තානය නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ හැකියාව ඉහළ ගොස් තිබේ.

ICC ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශය හත් වෙනි ස්ථානය හිමිකරගෙන සිටී.

මේ අතර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ කණ්ඩායම ද ICC ය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

'කඩා වැටිලා නෑ'

අවසාන මහා තරගයට සහභාගි වූ ඉන්දියාව සහ නියෝජයන කරමින් ක්‍රීඩකයන් හත් දෙනෙකු එම කණ්ඩායමට නම්කර තිබෙන අතර බංග්ලාදේශ කණ්ඩායමේ තමීම් ඉක්බාල් ද එයට ඇතුළත් වේ.

Image copyright AFP

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු මේ වසරේ ICC චැම්පියන්ස් කුසලාන කණ්ඩායමට ඇතුළත් නැත.

ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ද කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දක්ෂතම පිතිකරුවන් සහ පන්දු යවන්නන් විසි දෙනා අතරට ඇතුළත් නොවේ.

බංග්ලාදේශයේ පළමු පෙළ ක්‍රිකට් ශූරතාවලි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්වාර කමිටුවේ හිටපු සභාපතිවරයකුවන සිදත් වෙත්තමුණි පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.

කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු වූ චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවාය.

මේ අතර චැම්පියන්ස් කුසලාන ශූරතාවලියේ පරාජයෙන් අනතුරුව ක්‍රිකට් තේරීම් කමිටුවේ පුලුල් වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තුවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

කෙසේ වුවත් තරග කිහිපයක් පරාජය වූ පමණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය කඩා වැටී නැති බව ඇමතිවරයාගේ ස්ථාවරයය.