‘ගුර්කා ජනතා විමුක්ති පෙරමුණ' වෙනම ආණ්ඩුවක් ඉල්ලයි

Image copyright AFP
Image caption ඩාජීලින් පළාතට වෙනම පාලනයක් ඉල්ලා සිටින විරෝධතා ව්‍යාපාරයක්

ඉන්දීය තේ සඳහා ප්‍රකට ඩාජීලින් (Darjeeling) පළාතේ බහුතරය වන නේපාල භාෂාව කතාකරන ගුර්කා (Gorkha) ප්‍රජාව වෙනම පාලනයක් ඉල්ලා සිටීමත් සමඟ එම පළාත යුද පිටියක තත්වයට පත්ව ඇත.

එහි පවතින ගැටුම්කාරී තත්වය හමුවේ කැරලිකරුවන් පාලනය කර ගැනීමට බටහිර බෙංගාලයේ පොලිසියට සහාය පිණිස පසුගියදා යුද හමුදාව කැඳවීමට ද සිදුවිය.

එම ගැටුම් වලදී පස් දෙනකු මරා දමන ලද අතර පොලිස් භටයන් තිස් දෙනකුද ඇතුළුව සීයකට අධික පිරිසක් තුවාල ලද බවත් වාර්තා විය.

එම විරෝධතා ව්‍යාපාර කැඳවන ලද්දේ ගුර්කා ජනතා විමුක්ති පෙරමුණ (Gorkha Janmukti Morcha) විසිනි.

පොලිසිය විරෝධතවාදීන්ට වෙඩි තබන ලද බවට ගුර්කා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන නමුත් බලධාරීහු එකී චෝදනා බැහැර කරති.

බටහිර බෙංගාලයේ උතුරු කඳුකර ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන 'ගුර්කා' ජනතා විමුක්ති පෙරමුණ 'ගුර්කාලන්තය'නමින් වෙනම පාලනයක් ඉල්ලා සිටින අතර එසේ නැත්නම් "අවසානය තෙක් සටන් කරන" බවට අනතුරු ඇඟවීමක් ද කරයි.

Image copyright AFP
Image caption පොලිසිය - විරෝධතා ව්‍යාපාරයක් මැඩලීමේ උත්සාහයක

ඩාජීලින් (Darjeeling) පළාතත් ඇතුළුව බටහිර බෙංගාලයේ සියලු පාසල්වල 'වංග' භාෂාව අනිවාර්ය කිරීමේ නීතියක් එම ප්‍රාන්තයේ පාලක ත්‍රිනමූල් කොන්ග්‍රස් පක්ෂය(Trinamool Congress) විසින් නිර්දේශ කරනු ලැබීම 'ගුර්කා' ජනතා විමුක්ති පෙරමුණ කුපිත කිරීමට හේතුවිය.

"අපි 'වංග' ජාතිකයන් නොවෙයි. අපේ මව් භාෂාව 'වංග'නොවෙයි. ඩාජීලින් (Darjeeling) කඳුකරයේ සියලු දෙනාම වගේ කතා කරන්නේ නේපාල භාෂාව.ඉතින් ඇයි - අපේ ඉස්කෝලවල 'වංග' භාෂාව ඉගෙන ගත යුතුය කියල අපට බල කරන්නේ ?" 'ගුර්කා' ජනතා විමුක්ති පෙරමුණේ සභාපති බිමල් ගුරුං (Bimal Gurung) ප්‍රශ්න කරයි.

සිය නිදහස් සටනට සහාය පිණිස මේ මාසය මුල දී මාසයක වර්ජන ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කළදා පටන් සභාපති බිමල් ගුරුං සැඟවී සිටියි.

මෙම ග්‍රීෂ්ම සමයේ 'ඩාජීලින්' සංචාරක ව්‍යාපාරය සරු මොහොතට එළඹෙත්ම ඉහත කී විරෝධතා ව්‍යාපාර එය අඩපණ කිරීමට බල පා ඇත.

වර්ජනයත් සමඟ කඳුකරයේ සිර වූ දස දහස් සංඛ්‍යාත සංචාරකයන් ඩාජීලින් (Darjeeling) කඳුකරය අත්හැර ආපසු ගියහ.

සිංගබාරි (Singabari,)ප්‍රදේශයේ පොලිසියකට සහ ආණ්ඩුවේ වාහන වලට ගිනි තැබීමට ගත් උත්සාහයක් මැඩලීමට ගත් උත්සාහයකදී කෝපයට පත් විරෝධතාවාදියෙක් පොලිස් නිලධාරියකුගේ ගෙල සිඳින ලද අතර සෙසු පොලිස් භටයන් විරෝධතාවාදීන්ගේ ගල්මුල් ප්‍රහාරවලට සහ 'කුක්රිස්' (khukris) යනුවෙන් හැඳින්වෙන නේපාල පිහි ප්‍රහාරවලට ලක්වූහ.

Image copyright AFP
Image caption විරෝධතා නිසා සංචාරක කර්මාන්තය අඩපණ විය.

කලින් ඉන්දීය සහ බ්‍රිතාන්‍ය යුද හමුදා සේනාංකවල නිරතව සිටි ගුර්කා භටයන්ගේ "Jai Mahakali, Ayo Gorkhali," රණගොස දැන් ඩාජීලින් (Darjeeling) පළාතේ වීදි වල යළිත් ප්‍රතිරාවය කරනු දැන් අසන්නට ලැබෙයි.

ගැහැණු- පිරිමි, බාල - මහලු භේදයකින් තොරව ඔවුහු වීදි විරෝධාතා පාගමන්හි නිරත වෙමින් සිටිති.

"ඔවුන් දිගුකාලීන ප්‍රචණ්ඩ විරෝධතා ව්‍යාපාර සංවිධානය කරමින් සිටිනවා.ඒ නිසා තමයි ඔවුන් අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය ගබඩා කරන්නේ. ඔවුන්ගේ තිප්පොළවල්වල සල්ලි ගොඩ ගහනවා.එයින් කොටසක් අපි අල්ලා ගත්තා"ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වන අංජු ෂර්මා බීබීසියට ප්‍රකාශ කළේය.